Son-kills-father-with-broomstick-while-playing-online-tuition

පාඩම් වැඩ නොකර දිගින් දිගටම පරිගණක ක්‍රීඩා කරමින් කාලය නාස්ති කරන බවට උරණ වූ පියකුගේ කොසු මිට පහරකට ලක් වූ 16 හැවිරිදි දරුවෙක් ඊයේ (30 වැනිදා) මියගොස් ඇතැයි ගාල්ල මහමෝදරින් වාර්තාවේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි සිසුවාට විභාගයට සූදානම්වන ලෙස පියා අවස්ථා ගණනාවකදීම අවවාද කර ඇති නමුත් දරුවා දිගින් දිගටම අකීකරුවීම නිසා පියාගේ හිංසනයට ලක්ව ඇතැයි පැවසේ.




ඔහු පවුලේ දෙවැනි දරුවා වන අතර ඔහුට වැඩිමල් උසස් පෙළ හදාරණ වයසේ සොයුරෙකු සිටි බවද වාර්තාවේ. මේ දෙන්නාම ගාල්ලේ ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබන්නන්ය.
රට අගුළු දමා පාසල් වසා තිබුණත් අන්තර්ජාලයෙන් පාඩම් වැඩ සඳහා යොමුවී සිටි බවත් දරුවා ‘ඔන්ලයින් ටියුෂන්‘ පන්ති වලට සහභාගීවෙමින් සිටි බවත් පැවසේ. මේ වෙනුවෙන් පියාද වියහියදම් කළ අතර ඔන්ලයින් පන්ති වලට සහභාගී වන ආකාරයක් පෙන්නුම් කරමින් කාමරයේ සිටියත් සිසුවා එම පන්ති ‘කට්‘ කරමින් ඒ අවස්ථාවල පරිගණක ක්‍රීඩා වල නිරතවෙමින් සිට තිබේ.

මේ බව පරීක්ෂා කිරීමට ගිය පියාට දරුවාගේ අකීකරු ක්‍රියාවන් ගැන ක්ෂණික කෝපයක් ඇතිවී පහරදීම සිදුකර ඇති බවට දැනට ලැබෙන තොරතුරු වලින් කියැවෙයි.
පෙරේදා (29 වැනිදා) සවස 3 ට පමණ පියා කොසු මිටකින් පහර දී ඇත්තේ දරුවාගේ හිසටය.
මෙම පහරදීමේදී මව දෙදෙනා මැදට පැමිණිවිට පියා මවගේ ඇගට උඩින් කොසු මිටෙන් ගසා ඇති බවටත් එහිදී පියාගේ කොසු මිටි පහර පුතාගේ හිසට වැදී ඇති බවටත් අනාවරණය වී යැයි පොලිසිය පවසයි.
 
පහර කෑමට ලක්වූ දරුවා එම අවස්ථාවේම සිහිසුන්ව වැටී ඇති අතර පසුව ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
හිසේ සංවේදී ස්ථාන වලට හානිවීම නිසා දරුවාට සිහිය ගැනීම අපහසුවී ඇති අතර වෛද්‍යවරුන් ඔහු සුවකිරීමට දැඩි උත්සාහයක නිරත විය.

නමුත් පැය 12 කින් පමණ දරුවා මිය ගොස් ඇත්තේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දීය.
ඊයේ (30) අලුයම මියගිය බව ගාල්ල  පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල මහමෝදර සියඹලාගහවත්ත පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවෙකි.  
49 හැවිරිදි සැකකාර පියා  අහංගම, මිදිගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන්නෙකි. ඇතිවූ ක්ෂණික කෝපය නිසා ඔහු එම අවස්ථාවේ අතට හසුව ඇති කොසු මිටෙන් පහරදීම සිදුකර ඇති බවට පොලිසියට පවසා ඇත. තමා උත්සාහ කළේ පිටට පහරක් ගැසීමට වුවත් මැද්දට පැන්න බිරිය නිසා පහරේ ඉලක්කය වෙනස්වී හිසට වැදුණ බවත් ඔහු පවසා තිබේ. පියාව පොලිස් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඊයේ ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.