Seven-companies-are-planning-to-launch-direct-flights-to-Sri-Lanka

ශ්‍රී ලංකාව හා සෘජු ගුවන් සේවා ඇරඹීමට ගුවන් සමාගම් 07ක් සැලසුම් කරමින් සිටින අතර, ඉන් ගුවන් සමාගම් 05ක් මේ වනවිටත් කටුනායක ගුවන්තොටුපොළෙහි සිය මෙහෙයුම් සිදු කිරීමට එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව රුසියානු ගුවන් සමාගමක් වන AZUR AIR ගුවන් සමාගම සිය කාලසටහන්ගත ගුවන් ගමන් ලබන 11වැනිදා සිට සිදු කිරීමට නියමිතය. එමෙන්ම ඔවුන්ගේ විශේෂ ගුවන්යානා ලබන 30වැනිදා සිට ආරම්භ කිරීමටද සැලසුම් කර තිබේ. රුසියාවේ එයාරොෆෝල්ට් ගුවන් සමාගම නොවැම්බර් 04 වැනිදා සිට ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර,

ඉතාලි නියෝස් ගුවන් සමාගමත්, ප්‍රංශයේ එයාෆ්‍රාන්ස් ගුවන් සමාගමත් නොවැම්බර් 01 වැනිදා සිට කටුනායක ගුවන්තොටුපළට නව ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

බංගලාදේශයේ යුඑස් බංග්ලා එයාර්ලයින්ස් සමාගමද නොවැම්බර් 01 වැනිදා සිට කටුනායක ගුවන්තොටුපළට ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා සැලසුම් කර තිබේ. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වාදෙන්නේ ඊශ්‍රායලයේ ආකියා ගුවන් සමාගමත්, ස්විටිසර්ලන්තයේ ස්විස්එයාර් ගුවන් සමාගමත් ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම කෙරෙහි කැමැත්තෙන් පසුවන බවයි. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබනු ඇතැයිද ඇමතිවරයා සඳහන් කළේය. මේ අතර මත්තල ගුවන්තොටුපොළ සඳහාද ජාත්‍යන්තර ගුවන් ආයතන 04ක් නව මෙහෙයුම් ආරම්භ කිරීම පිළිබඳ සිය අවධානය යොමුකර තිබේ.

මේ පිළිබඳ සාකච්ඡා කරමින් තිබෙන බවත්, ඉදිරි කාලය තුළ එම ගුවන් සමාගම් 04 මත්තල ගුවන්තොටුපොළට සිය ගුවන් ගමන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කිරීමත් සමග සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂ කරන බවත්, දැනටමත් සංචාරක සංවර්ධන අධිකාරිය යුරෝපා රටවල් ආශ්‍රිතව විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරනු ලබන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

(නවෝද්‍යා පවනි)