කොළඹ බ්‍රිස්ටල් වීදියේ පස් මහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ තිබී ජීව උණ්ඩ තොගයක් සොයා ගත් බව
කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

ටී. 56 ජීව උණ්ඩ 176ක් සහ පිස්තෝලවලට යොදන 9 එම්.එම්. වර්ගයේ ජීව උණ්ඩ 29ක් එහි තිබී
සොයාගත් බව පොලිසිය කියයි.

විවිධ පෞද්ගලික ආයතන පිහිටා තිබෙන එම පස් මහල් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ වැසිකිළියක් තුළ තිබෙන
අඩි තුනක් පමණ උසැති බැම්මක් අසල මෙම උණ්ඩ තිබෙනු දැක පවිත්‍රතා සේවකයෙක් ඒ බව පොලිසියට
දැනුම්දී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් පැවසීය.

රතු පාටට හුරු ඉටි බෑග් එකක මෙම උණ්ඩ දමා තිබූ බවත් එම උසස් නිලධාරියා පැවසීය.



ජීව උණ්ඩ තොගය මෙම ස්ථානයට රැගෙන ආවේ කිනම් පුද්ගලයෙක් ද? කුමන කාරණාවකට ද? යන්න සොයා
වැඩිදුර විමර්ශන සිදුකරන බවත් උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

එමෙන් ම, මුළු බ්‍රිස්ටල් ගොඩනැගිල්ල ම පොලිස් නිලධාරීන් 60කට ආසන්න පිරිසක් යොදා සම්පූර්ණ
පරීක්‍ෂාවට ලක්කර තිබේ. ඒ සඳහා පොලිස් පරීක්‍ෂකවරුන් හා උප පොලිස් පරීක්‍ෂකවරුන් පමණක් 15කට
වැඩි පිරිසක් සහභාගි වී ඇති අතර කොටුව පොලිසියට අනුයුක්ත නිලධාරීන් හා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් යොදාගෙන තිබේ.

ඊට අමතරව නිල සුනඛයන් ද මේ සඳහා යොදා ගැනිණි.

කොවිඩ් ව්‍යාප්තවීම නිසා මාස තුනකට පෙර සිට මෙම වැසිකිළිය නිසි පරිදි පවිත්‍ර කිරීමක් සිදුනොකර
ඇතත් වැසිකිළියෙන් හමන දුඟද නිසා ගොඩනැගිල්ලේ ආරක්‍ෂක අංශ මෙම වැසිකිළිය පිරිසුදු කරන ලෙස එහි සනීපාරක්‍ෂක සේවකයන්ට දන්වා තිබේ. පසුව එසේ සනීපාරක්‍ෂක සේවකයෙක් දෑතට ග්ලවුස් දමා
වැසිකිළිය පිරිසුදු කර එහි තිබූ අපවිත්‍ර කැළිකසළ පිටතට ගනිද්දී ඔහුට මෙම පතරොම් බෑගය හමුවී එය
පරීක්‍ෂා කරද්දී එහි ඇත්තේ පතරොම් තොගයක් බව දැනගෙන ඒ බව ආරක්‍ෂක නිලධාරීන්ට දන්වා තිබේ.

මෙම ගොඩනැඟිල්ලේ වරායේ භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ කාර්යාල රැසක් පිහිටා ඇති අතර එම
කාර්යාලවලට දිනපතා විශාල සංඛ්‍යාවක් යන එන බව ද පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සැලවීමත් සමඟ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක නන්දන
හා සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා ඇතුළු කණ්ඩායමක් ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ විමර්ශනයක් ඇරැඹූහ.



එමෙන් ම, මෙම ගොඩනැගිල්ලේ ආරක්‍ෂක අංශ අතර කිසියම් ප්‍රශ්නයක් කලක සිට පැවති අතර ඒ
සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අද (ඔක්. 15) එම බ්‍රිස්ටල් ගොඩනැගිල්ලේ වෙළෙඳ
ආයතනවල හිමිකරුවන්ගෙන් හා සේවකයන්ගෙන් ද ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගන්නා බව පොලිසිය කියයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත කොළඹ
අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී.ජේ. නන්දන, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා, ඍජු අධීක්‍ෂණය යටතේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්
පරීක්‍ෂක ඇන්සලම් ද සිල්වාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

කොළඹ - ජයසිංහ, කීර්ති මෙන්ඩිස්