පැයට කිලෝ මීටර් 140 ට වැඩි වේගයකින් පන්දු යවන ක්‍රීකයන් තිදෙනකු සිටීම ඕනම කණ්ඩායමට විශාල ශක්තියක් බවත්, ඔවුන්ගෙන් දෙදෙනෙක් පැයට කිලෝ මීටර් 145 ට වැඩි වේගයෙන් පන්දු යවයි නම් එය කණ්ඩායමට අතිරේක වාසියක් බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරු චමින්ද වාස් මහතා පවසයි.
“අන්තිම කාලෙ ශ්‍රී ලංකා කණ්ඩායමේ 140 ට වැඩි වේගයකින් පන්දු යවන ක්‍රිඩකයන් තුන් දෙනෙක් ඉදලා නෑ ඒ විතරක් නෙමේ දැන් අපිට 145 ට වැඩියෙන් පන්දු යවන දෙනෙකුත් ඉන්නවා. ඒ ගැන පුහුණුකරුවෙක්විදියට මට හුගක් සතුටුයි. සුපිරි 12  දෙනාගේ වටයේදී ඔවුන් කොයි ආකාරයට පන්දු යවයිද කියලා අපි බලාගෙන ඉන්නේ. ඒ වගේම ඔවුන් ටෙස්ට් තරගවලදි කොයි ආකාරයෙන් පන්දු යවයිද කියල දකින්නත් මම ආසාවෙන් ඉන්නෙ.”



යැයිද වාස් මහතා එහිදී කියා සිටියේය.ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩකයන් 30 දෙනාගේ මූලික සංචිතයට ඇතුළත් වූ ළහිරු කුමාරට අවසන් 15 අතර ස්ථානයක් හිමි නොවීය. කෙසේ වුවත් අවසන් 15 දෙනාට ඇතුළත්ව සිටි නුවන් ප්‍රදීප් ආබාධයකට ගොදුරු වීමත් සමග ළහිරුට අවසන් 15 දෙනා අතරට ඇතුළත්වීමට අවස්ථාව උදා විය. එපමණක් නොව මහේලගේ මැදිහත්වීම මත ඔහුට මේ දක්වා පැවැති සියලුම තරග සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාවද හිමි විය.

තමාට ලැබුණු අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගත් ළහිරු, මූලික වටයේදී නැමිබියාවට එරෙහිව ලකුණු 9 කට කඩුලු 2 ක්ද, අයර්ලන්තයට එරෙහිව ලකුණු 22 කට කඩුලු 2 ක්ද, නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 7 කට කඩුලු 3 ක්ද, බංග්ලාදේශයට එරෙහිව ලකුණු 29 කට කඩුල්ලක්ද බිඳ හෙළමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත විය. එහිදී ළහිරුගේ පන්දු යැවීමේ වේගය පැයට කිලෝ මීටර් 145 කට වැඩි අගයක් ගත් අතර ඔහු නිසි පාලනයකින් යුතුව නිවැරදි එල්ලයේ පන්දු යවන අයුරුද දැකගත හැකි විය.

 "ළහිරු අපිත් එක්ක ඉස්සෙල්ලා 30 දෙනා අතර හිටියා. නමුත් ඔහු අවසන් 15 දෙනා අතර හිටියේ නැහැ. මම ඔහුත් එක්ක හුගක් පුහුණුවීම් කළා. පිතිකරුවන්ට පන්දු යවද්දි විතරක් නොමෙයි, ඔහුව වෙනම අරන් ගිහිල්ලත් පන්දු යැව්වා. ඔහුගේ දක්ෂතා වර්ධනය කළා. මම හිතන්නේ එයාටත් ලොකු වුවමනාවක් තිබුණා ඒ දේවල් හදාගත්ත. මොකද එයා විස්සයි-20 තරගවලදි වැඩිය හොදින් ක්‍රිඩා කරලා තිබුණේ නැහැ. එයාගෙ මහන්සියෙ ප්‍රතිඵලයක් විදියට තමයි නැවතත් 15 දෙනාම අතරට ආවෙ.” යැයි වාස් මහතා පැවැසීය.




ආරම්භක ඕවරය යැවීම සඳහා චාමික කරුණාරත්න යොදාගැනීම සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ වාස් මහතා කියා සිටියේ වේගයෙන් පන්දු යැවීමට වඩා තමන් චාමිකගෙන් බලාපොරොත්තු වූයේ පන්දුව දෝලනය කිරිම බවයි. වේගයෙන් පන්දු යවන චමීන්ගෙන් සහ ළහිරුගෙන් වැඩි වශයෙන් කඩුලු ලබාගැනීමට නම් චාමික දෝලනයක් සහිත පන්දුවලින් ප්‍රතිවාදී පිතිකරුවන්ට එල්ල වන පීඩනය වැදගත්වන බවද වාස් මහතා කියා සිටියේය.

“චාමිකටත් 140 කට වැඩි පන්දු යවන්න පුලුවන්. නමුත් ඔහු ගොඩක් වෙලාවට උත්සාහ කළේය. පන්දුව දෝලනය කරන්න. අබුඩාබි ක්‍රීඩාංගණයේ එක පැත්තක් පොඩියි. අපි හැමවෙලේම ඔහුට පළවෙනි ඕවරය යවන උනේ චමීරගෙයි ළහිරුගෙයි ඕවර ටිකෙන් හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නයි. දිගින් දිගටම කරපු කැප කිරීම්වල ප්‍රතිඵලයක් විධියට ඔවුන් තුන්දෙනාම මේ වෙනකොට තරග දිනවිය හැකි මට්ටමේ පන්දු යවන්නන් බවට පත්වෙලා තියෙනවා.” යැයිද වාස් මහතා සඳහන් කළේය.

(ශානුක අරවින්ද සාජා සිට)