ගිනිගත් පර්ල් එක්ස්ප්‍රස් නෞකාවෙන් අප රටට, වෙරළ තීරයට, වෙච්ච හානිය සම්පුර්ණයෙන් නැති කරලා දාලා යළි යථා තත්වයට මේ මුහුදත්, වෙරළත්, ධීවර ජනතාවත් නැවත පත් කරන්න කටයුතු කළ යුතුයි.  ඒක පළමුවෙන්ම පැවරෙන්නේ අපි ඡන්දේ දීල පත්කර ගත මේ ආණ්ඩුවට බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඊයේ (26) පමුණුගම සරක්කුව ප්‍රදේශයේදී පැවසූහ.   ගිනිගත් එක්ස්ප්‍රස්  පර්ල් නෞකාවේ තිබු බහලුම්වලින් වෙරළ තීරයට බැහැරවුණ පලාස්ටික් ඇතුළු විෂකාරක අපද්‍රව්‍ය නිසා දැඩි හානි සිදුවූ පමුණුගම සරක්කුව වෙරළ තීරයේ නිරීක්ෂණ කටයුත්තකට පැමිණි අවස්ථාවේදී අගරදගුරුතුමෝ එසේ පැවැසූහ.



ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත්, ධීවර ඇමැතිවරයාත් ඇතුළු සියලු මැති  ඇමැතිවරුන්ට මේ වගකීම පැවරෙනවා. ඒ ගොල්ලන්ට ඒ වගකීම හරියාකාරව ඉෂ්ට කරන්න බැරිනම් ඒක ජනතාවට කියන්න ඕනෑ. ඔවුන්ගේ වගකීම ඉටු  කරනවා නම් ඒක සීයට සීයක් හරියට  ඉටුකළ යුතුයි.  අපි රජයට කියන්නේ කරුණාකරලා මේක සැහැල්ලුවට අරගෙන මේ නැව් සමාගමටත්, නැව් සමාගමේ ඒජන්තවරුන්ටත්, ඉන්ෂුවරන්ස් ඒජන්තයන්ටත් ඕනෑ ඕනෑ විදියට මේක අඩුවෙන් තක්සේරු කරලා අඩුවෙන් වියදම් කරලා ඔවුන්ට බේරෙන්න ඉඩ දෙන්න එපා කියලා.  අපි රටට ආදරේ නම් අපි රටේ ඉන්න  ජනතාවගේ බඩට ගහලා මුදල් හම්බ කරණ එක නොවෙයි කළ යුත්තේ. එහෙම හම්බ කරන සල්ලි ලේ සල්ලි. ඒ මුදල් හරියන්නේ නැහැ කවදාවත්. ඒවා නොසිතූ අන්දමට දියාරු වී යනවා.

මේ රටේ ලොකුම අවසනාව තමයි කොමිස් ගැහිල්ල. එක ඇමැති කෙනෙක්  ඉන්නවා. එයාට කියන්නේ මිස්ටර් ටෙන් පසන්ට් කියලා. ඒ වගේ නම් පවා හැදිලා තියෙනවා. කියන්නත් ලජ්ජයි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ප්‍රශ්නයේදී අවංකව කටයුතු කරන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා.  මේ සිද්ධිය පිළිබඳව රටට සාධාරණයක් ලබා ගන්න දැනටමත් කල්ගත වූ කාලය හුඟක් වැඩියි. මේ පිළිබදව මීට වඩා සංවිධානාත්මකව කටයුතු කරනවා දැකීම ජනතාවගේ  බලාපොරොත්තුවයි. පිටරට කොම්පැනිවලින් ඇවිල්ලා කොළඹ ලොකු හෝටල නැවතිලා මේ ප්‍රශ්නයට බලපෑම් කරලා තර්ජනය  කරන්න ඉඩ දෙන්න බැහැ.



ලොකු මුහුදු තීරයක් අපට තියෙනවා. ඒ මුහුදු තීරයේ තියෙන සම්පත් අරක්ෂාකර ගැනීම රටේ පුරවැසියන් හැටියට අපට තියෙන අයිතියක්. විදේශීය සමාගම්වලට ඒ අයිතිය දෙන්න බැහැ. ඒ නිසා අපේ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් අපේ වගකීම අපි ඉෂ්ට කරන්න ඕනෑ." සුරකිමු ලංකා සංවිධානයේ පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ මෙසේ පැවැසූහ.

"ලෝකයේ අති දැවැන්තම පරිසර හානියක් මේ එක්ස්ප්‍රස්  පර්ල් නෞකාව නිසා අපට සිදුවෙලා තියනවා.   පරිසරයට.  පෙනෙන නොපෙනෙන මේ සියල්ලටම මෙයින් වූ හානිය ආණ්ඩුව සත පහකට ගණන් ගන්නේ නැතිව කොම්පැණිකාරයන්ට අවශ්‍ය විදියට වැඩ කරන්න දීලා බලාගෙන ඉන්නවා.  ආණ්ඩුවට සල්ලි නෑ, ඩොලර් නෑ  කියනවා. ආණ්ඩුවට මේක හොඳ අවස්ථාවක් ඩොලර් බිලියන දහයකට වඩා වන්දියක් ගන්න. මේ මුදල අරගෙන  රටේ ජනතාවගේ සුඛවිහරණයට යොදන්න. එකෙනෙක් දෙනෙක්  බිලියන එකක් දෙකක් සාක්කුවට දාගන්න එක ඛේදනීය තත්වයක්. මේ නැව ගිලෙනකම් බලාගෙන හිටියා. දැන් කොම්පැණිකාරයන්ට ඕනෑ විදියට පරිසර වාර්තා හදනවා.  කොම්පැණිකාරයන්ට ඕනෑ විදියට වන්දි දෙන්න හදනවා.

මේ රට පාලනය කරන්නේ කොම්පැණිකාරයෝද?

සමෘදීය පර්සර ආරක්ෂක අධිකාරියේ සහාපතිනි දර්ශණී ලහඳපුර මහත්මිය,  අප මේ වෙරළ තීරය ශුද්ධ කරන්නේ ධීවර ජනතාව සමගයි. අපි එය පාරදෘශ්‍ය භාවයෙන් කරනවා. මේ ගැන එක එක මතවාද තියනවා. ඕන වෙලාවක අපි සාකච්ඡාවට සූදානම්. උද්ඝෝෂණයක් කරලා හරි කෑ ගහලා හරි අපි කරන දේ නතර කරන්න බෑ. අපි මේවා කරන්නේ විද්‍යාත්මක පදනමක ඉඳලයි.

 -ප්‍රසංග පෙරේරා-