ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලක් රටක පැවැත්වීම එම රටට ආදායම එන මාර්ගයකි. නමුත් ඒ සඳහා විශාල පිරිවැයක් දරන්නටද සිදුවේ. විශාල කොන්ත්‍රාත්තු වලට සම්බන්ධවීමට මෙන්ම ආයෝජනය කරන්නටද සිදුවේ. තුන්වන ලෝකයේ රටවල් මේවාට අතගසන්නේ අඩුවෙනි. ඊට හේතුව ජනතාවගේ ජීවත්වීමේ ආර්ථිකය තවම හරිහැටි ගොඩනගාගෙන නැතිවීමය. 
මින් ඉහත මහින්ද රාජපක්ෂ ජනපති සමයේ ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ කොටසක් ලංකාවේ පැවැත්විණි. ඒ සඳහා පල්ලෙකැලේ හා සූරියවැව ක්‍රීඩාංගණ ඉදිකිරීමට ආයෝජන කළ අතර අනෙක් ක්‍රීඩාංගන නවීකරණයටද විශාල වියදමක් දරනු ලැබීය. ඒකාලයේම පොදු රජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ලංකාවට ලබාගැනීමට එවක රජය වෙහෙසුණි. මේ සඳහා ඕස්ට්‍රෙලියාවේ පැවති අවසන් තේරීම් අවස්ථාව වෙනුවෙන් චියර් කිරීමට ලංකාවේ පිරිසක් වෙනම ගුවන්යානයකින් එරටට ගොස් ආ බවද වාර්තාවිය. නමුත් එවර ලංකාවට පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නොලැබිණි.


එම අවස්ථාව උදාවූයේ නම් විශාල ආයෝජනයකින් ක්‍රීඩාංගණ තැනීමට හා නවීකරණයටද අවශේෂ පහසුකම් දියුණු කිරීමටද සූදානමක්ද පැවතිණි.
වසර 2026 දී පැවැත්වීමට නියමිත  පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල පවත්වන්නට සුදුසු රටක් ගැන දැන් කතාබහ වන අතර බීබීසී ස්පොර්ට්ස් වෙබ් අඩවිය මගින් ඊයේ පළ කළ වාර්තාවක ශ්‍රී ලංකාව ඒ ගැන උනන්දු බව දක්වා තිබේ. ශ්‍රී ලංකාව පමණක් නොව ඕස්ට්‍රෙලියාව කැනඩාව හා ඉන්දියාවද උනන්දු කන්ඩායමේ සිටින බව වාර්තා කර තිබේ.
නමුත් බීබීසී වාර්තා එසේ පළවුවත් ලංකාවේ කිසිදු බලදරයෙකු ඒ ගැන තවම කතාකර නැත.
මෙම ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දැරීමේ අවස්ථාව ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් වී ඇතිදැයි ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ හා ශ්‍රී ලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සම්මේලනයේ ලේකම් මැස්ක්වෙල් ද සිල්වා පුවත්පතක් මගින් විමසීමේදී මෙසේ කියා තිබේ.

 “පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකට සත්කාරය කරන්න නම් ස්ටර්ලින් පවුම් බිලියනයක විතර ආයෝජනයක් කරන්න ඕනේ. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් බිලියන 300 ක් වගේ  මුදලක්. ලංකාවේ අද තත්වය අනුව මේ වගේ විශාල සල්ලි කන්දරාවක් ආයෝජනය කරන්න පුළුවන්ද? ඒ ගැන නම් අපි (ශ්‍රී ලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සම්මේලනය) කිසිම උත්සාහයක් අරගෙනත් නෑ.  ගන්නෙත් නෑ"




මීළඟ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ලබන වසරේදී (2022) බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් නුවරදීය. එහෙත් මීළඟ තරගාවලිය ආරම්භ වීමට පෙර වසර 2026 සත්කාරකයන් කවුරුන්ද යන්න ප්‍රකාශයට පත්කරන බව පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සංවිධානයේ සභාපතිනි ඩේම්  ලුවිස් මාටින් මහත්මිය බී.බී.සී. පුවත් සේවයට පවසා තිබුණි.
මේ සඳහා ලංකාවේ උනන්දුව ගැන බීබීසී දැනගත්තේ ‘අභ්‍යන්තර ආරංචි අනුව‘ යයි වාර්තා කර තිබුණි.
මෙවැනි උළෙලක් සඳහා වැය කිරීමට රුපියල් බිලියන 300 ක් ශ්‍රී ලංකාව වෙන්කරාවිද යන්න තවම ප්‍රශ්නාර්ථයකි.