මෙම මස ආරම්භ වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගන්නා කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6ක (රු. කෝටි 32කට ආසන්න) මුදලක් පිරිනමන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (අයිසීසී) පෙරේදා (30දා) නිවේදනය කළේය.  මීට අමතරව අනුශුරතාව හිමිකර ගන්නා කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් 800,000ක (රු, කෝටි 16කට ආසන) මුදලක් පිරිනැමීමටද නියමිතය.  එමෙන්ම අවසන් පූර්ව තරගවලින් පරාජයට පත්වන කණ්ඩායම් දෙක සඳහා ඇමෙරිකානු ඩොලර් 400,000ක (රු. කෝටි 08කට ආසන්න මුදලක් හිමි වන බව අයිසීසී නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙවර තරගාවලියේ කණ්ඩායම් 16ක් සඳහා බෙදා දීමට නියමිත සමස්ත මුදල් ත්‍යාගවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 5.6කි. මෙහිදී සුපිරි 12 වටයේදී ජය ගන්නා

සෑම තරගයකටම අදාළ කණ්ඩායම්වලට ඇමෙරිකානු ඩොලර් 40,000 (රු. ලක්ෂ 80කට ආසන්න) බැගින් දීමනාවක් ලබාදීමටද   අයිසීසීය යෝජනා කර තිබේ. එමෙන්ම සුපිරි 12 වටයෙන් ඉවත් වන කණ්ඩායම් සදහා අවසන් පුර්ව වටයට සුදුසුකම්  නොලබන) ඇමෙරිකානු ඩොලර් 70,000ක (රු. එක් කෝටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදලක් පිරිනැමීමටද තීරණය කර ඇත.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ  වටය සඳහා මුදල් ත්‍යාග ලබාදීමට අයිසීසීය පියවර ගෙන තිබේ.   ඒ අනුව ඇමෙරිකානු ඩොලර් 40,000 (රු. ලක්ෂ 80කට ආසන්න)  බැගින් පළමු වටයේ තරග 12ක් සඳහා සමස්ත ත්‍යාග මුදල් ලෙස ඩොලර් 480,000ක් (රු. කෝටි 09 හමාරකට වැඩි මුදලක් බෙදා දීමට නියමිතය. මීට අමතරව පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වන කණ්ඩායම් 04 සඳහා ඇමෙරිකානු ඩොලර් 40,000 (රු. ලක්ෂ 80කට ආසන්න) බැගින් පිරිනැමීමට ද කටයුතු කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේය.

මෙම තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගී වන කණ්ඩායම් 08 වනුයේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, අයර්ලන්තය,

නැමීබියාව, නෙදර්ලන්තය, ඕමානය, පැපුවා නිව්ගිනියාව සහ  ස්කොට්ලන්තයයි. ඉන් කණ්ඩායම් 04ක් සුපිරි 12 දෙනාගේ වටය  සඳහා සුදුසුකම් ලැබීමට නියමිත අතර, සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඕමානයේදී පැවැත්වීමට නියමිතය. මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සුපිරි 12 දෙනාගේ  වටය පැවැත්වීමට නියමිත අතර, ඊට ඇෆ්ගනිස්ථානය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්ථානය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් 08 ශ්‍රේණිගත කිරීම් අනුව සෘජුව සුදුසුකම් ලබා තිබුණි. විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙම මස 17 වනදා සිට නොවැම්බර් මස 14 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.


 පැතුම් ශ්‍රී විජ‍ෙරත්න