university-reopening

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට කෝවිඩ් එන්නත ලබාදීම සඳහා මෙතෙක් කිසිදු වැඩපිළිවෙළක් සකස්කර නොමැති බවත්, මේ නිසා කඩිනමින් එන්නත ලබාදීම සදහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස සොඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සදහන් කර තිබේ.
ඒ අතරම තාවකාලිකව වසා දැමුණු විශ්වවිද්‍යාල නොවැම්බර් මාසයේදී විවෘත කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසා තිබේ.


 වයස අවුරුදු 20-30ත් අතර සිසුන්ට කෝවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදීම ඔක්තෝබර් මාසයේ අවසන් කිරීමට රජය බලාපොරොත්තු වන බැවින් නොවැම්බර් මාසයේදී විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ඔහු කීය.
කෙසේ වෙතත් 20-30 වයස් කාණ්ඩයේ සරසවි සිසුන් වෙනුවෙන් විශේෂ එන්නත් වැඩසටහනක් නැත.
ප්‍රාදේශීය වශයෙන් සිදුකරන එන්නත් වැඩසටහන් යටතේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන් යම් පිරිසක් එන්නත ලබාගෙන තිබෙන බවත්, එහෙත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මූලික කරගත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම නිසා කොතරම ශිෂ්‍යයන් ප්‍රමාණයක් එන්නත් ලබාගෙන තිබෙනවාද යන්න සොයා ගැනීමට නොහැකි වී තිබෙන බවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පෙන්වා දෙයි.
විශ්වවිද්‍යාල භූමියට ළමයින් ඇතුළත් වීමේදී එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබිය යුතුද? යනුවෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ, ඒ පිළිබඳ අවසන් තීරණය මෙතෙක් ගෙන නොමැති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බවත්, රටවල් අතර සම්බන්ධතාවලදී එය අත්‍යවශ්‍ය දෙයක් වන බැවින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට එය අනිවාර්ය විය හැකි බවය.



විදෙස්ගතවීමට සුදානමින් සිටින සිසුන්ට ලබාදීමට නියමිත එන්නත් වර්ගය කුමක්දැයි මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඒ මහතා කියා සිටියේ මෙසේය.
, "ලංකාවේ ඉන්නවා විදේශීය සිසුන්. ඒ අයටත් ලංකාවේ අයට වගේම අපගේ එන්නත්කරණ වැඩසටහන තුළින් එන්නත් ලබාදුන්නා. ලෝක සෞඛ්‍ය සංවිධානය කිසිදු එන්නතක් වර්ගීකරණය කරලා නොමැති වුණත් ප්‍රායෝගිකව තමන්ගේ රටවලට ඇතුළුවීමේදී ලබාගත යුතු එන්නත සඳහන් කළා. එනිසා මා දන්නා තරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදනයට කොමිෂන් සභාවට සෘජුව සම්බන්ධ නොවුණත් ඒ ඒ රටවලින් ඉල්ලා ඇති එන්නත ලංකාවෙන් ලබාදෙන්න කටයුතු කරනවා”