shawendra-speaks

පොදු ස්ථානවල ගැවසෙන පුද්ගලයන් කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටිය යුතු බවට නීතියක් මෙතෙක් පනවා නොමැති බවත්, ඉදිරියේදී සුදුසු පරිදි පරික්ෂා කිරීම සිදුවිය හැකි බවත් යුද හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ කෝවිඩ් මර්දන බළකායේ ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 

ඔහු මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා යුද හමුදාවට වසර 72ක් පිරීම නිමිත්තෙන් යුද හමුදාවේ රෙජිමේන්තු24ක ධජ ඓතිහාසික ශ්‍රී දළදා මැදුරට ගෙනැවිත් ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හමුදාපතිවරයා,මේ වන විට මෙරටට ගෙන්වා ඇති කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා ප්‍රමාණය තුන් කෝටි පහළොස් ලක්ෂයක්පමණ වෙනවා.

එම එන්නත් ප්‍රමාණයෙන් එක් කෝටි දහසය ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් එන්නත් කර තිබෙනවා. මේ වන විට ජනගහනයෙන් 52.3%ක ප්‍රමාණයකට එන්නත්  මාත්‍රා දෙකම ලබාදී අවසන්කර තිබෙනවා. එමෙන්ම වයස අවුරුදු 20ත් 29ත් අතර කාණ්ඩයෙන් 48.5%කට එන්නත් ලබාදී තිබෙනවා. සමහර අය හොඳ එන්නත් ලැබෙනතුරු බලාගෙන සිටිනවා. නමුත් හොඳම දේ ලැබෙන එන්නත ලබාගැනීමයි.

සියලු එන්නත් මාත්‍රා එක සමානයි. පොදු ස්ථානවල ගැවසෙන අය එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටිය යුතුයි කියා දැනට නීතියක් පනවා නැහැ. නමුත් මීට පෙර අප සාකච්ඡා කළා පොදු ස්ථානවල ගැවසෙන අයට එවැනි තත්වයක් ඇති කිරීමට. දැනට වයස අවුරුදු 30ට වැඩි. සියලු දෙනාට එන්නත් මාත්‍රා දෙකම ලබාදී අවසානයි.සුළු කොටසකට හැරෙන්න. පොදු  ස්ථානවල ගැවසෙන අය මෙම එන්නත් මාත්‍රා දෙකම ලබාගැනීම ඉතා වැදගත්.වයස අවුරුදු 12ත් 19ත් අතර වයස් කාණ්ඩයේ විවිධ රෝග, නිදන්ගත රෝගවලින් පෙළෙන දුදරුවන්ට එන්නත් ලබාදීම දිස්ත්‍රික්ක කිහිපයකදී ආරම්භ කර තිබෙනවා.

එය රටේ සියලු දිස්ත්‍රික්කවල ඉදිරිකාලයේ ආරම්භ කරනවා. එම දරුවන් යන සායනවලදී එම එන්නත් ලබාදීම සිදු කෙරෙනවා.

ඔක්තෝම්බර් 01 වැනිදා සිට රට විවෘත කළ රාත්‍රී 10.00 සිට පාන්දර 04.00 දක්වා නිරෝධායන ඇදිරිනීතිය පැනවීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ වන විටත් දැනුම් දී තිබෙනවා රටේ පවතින තත්වය අනුව කෝවිඩ් පාලනය කරගැනීමට හැකිවන පරිදි අවශ්‍ය උපදෙස් මාලාව සකස් කර ගන්නා ලෙස ප්‍රවාහන ක්ෂේත්‍රය සහ අනෙකුත් ආයත‍න පවත්වාගෙන යන ආකාරය සම්බන්ධව සාකච්ඡා කර ඒ පිළිබඳ අවශ්‍ය උපදෙස් මේ වන විටත් ලබාදී තිබෙනවා රට විවෘත කළ පසු මොන ආකාරයටද හැසිරිය යුත්තේ කියා ජනතාවට හොඳ දැනුමක් තිබෙනවා. පැවැති ඩෙල්ටා උවදුර හමුවේ රටේ ජනතාවගේ කැපකිරීම නිසා එය පාලනය කරගැනීමට හැකියාව ලැබුණා. ඒ ආකාරයට බුද්ධිමත්ව ජනතාව කටයුතු කරයි කියා බලාපොරොත්තු වෙනවා"යනුවෙන් පැවසීය.

(ෂේන් සෙනෙවිරත්න)