mahindananda-fertilizer

මෙවර මහ කන්නය සඳහා ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්‍රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
 චීනයේ පොහොර නිෂ්පාදන සමාගම එවා ඇති සාම්පල් පරීක්ෂා කිරීමේදී ඒවායේ පසට අහිතකර බැක්ටීරියා තිබෙන බවට රසායනාගාර පරීක්ෂණවලදී හෙළි වී ඇති බැවින් මෙම තීරණයට එළඹුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


කෙසේ වුවද මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දීමට රජයේ අවධානය යොමුවී ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

චීනයෙන් මෙරටට ගෙන්වීමට සැලසුම් කර තිබූ කාබනික පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා ඇති බව දෙවන වරටත් සිදු කළ සාම්පල පරීක්ෂාවේ දී තහවුරු වී තිබිණි. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා සඳහන් කළේ පසුගිය සිකුරාදා ලැබුණු සාම්පල ශාක නිරෝධායන සේවය යළි පරීක්ෂාවට ලක් කළ බවය.
එම පරීක්ෂාවේ දී අදාළ කාබනික පොහොර තොගයේ අහිතකර අර්වීනියා නැමැති අහිතකර බැක්ටීරියාව අඩංගු විය.


ඔහු පැවසුවේ, මේ අනුව අදාළ පොහොර තොගය මෙරටට පෙන්වීමෙන් වළකින ලෙස තමන් නිර්දේශ කළ බවය.
මෙරටට කාබනික පොහොර සැපයීමේ ටෙන්ඩරය චීනයේ qingdao seawing biotech සමාගමට ලබාදීමට රජය පසුගියදා තීරණය කළ අතර ඔවුන් බාල ගණයේ පොහොර ලබාදීමට සූදානම්වී ගෙන්වීමට සැරසෙන මොහොතේ මෙම විද්‍යාත්මක හේතුව අනාවරණය විය.
 විෂයභාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පළමු වතාවේ සෑහීමකට පත් නොවූ අතර චීන සමාගමෙන් කාබනික පොහොර සාම්පල ගෙන්වා පොලිස් ආරක්ෂාවද යොදවා සිදු කළ දෙවන පරීක්ෂාවේ දී අහිතකර බැක්ටීරියා ඇතැයි නැවතත් තහවුරු වීමෙන් පසු තීරණය වෙනස්විය.