twins-to-female-elephent-Pinnawala-Surangi

පින්නවල අලි අනාථාගාරයේ සුරංගි නමැති කෙනෙර ඊයේ 31 පෙරවරුවේ නිවුන් අලි පැටවු දෙදෙනකු බිහි කළ බව පින්නවල අලි අනාථාගාරයේ සහකාර අධ්‍යක්ෂ මිහිරාන් මැදවල මහතා පැවසීය.  පැටවු දෙදෙනාම පිරිමි සත්තු වෙති.

සුරංගි කෙනෙර අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරංගල්ගම ග්‍රාමයේ දී වර්ෂ 1997 මුල් භාගයේ උපත ලැබීමෙන් අනතුරුව එම වසරේ දෙසැම්බර් 03 දා පින්නවල අලි අනාථාගාරයට රැගෙන එන විට මාස 09 ක් පමණ වූ බව මිහිරාන් මැදවල මහතා පැවසීය. පින්නවල අලි අනාථාගාරයේ එවකට සිටි නිලධාරීන් මෙම අලි පැටවාට උපන් ග්‍රාමය මුල් කරගෙන සුරංගි යනුවෙන් නම තබා ඇති බව ද සහකාර අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.


කාගෙත් හිත දිනාගෙන සිටි සුරංගි වයස අවුරුදු  දොළහයි මාස කිහිපයක් ගත වූ අවස්ථාවේ දී පළමු වරට 2009 මැයි 24 දා කනක නමින් පිරිමි අලි පැටවකු බිහි කළාය. කනක අලි පැටවා ද පින්නවල අලි අනාථාගාරයේ සෙසු අලි රංචුව සමග එක්ව වාසය කරයි.  පසුව සුරංගි යළි වසරක පමණ කාලයක සිට ගැබ්බරව ඇති බව දැන ගත්  වෛද්‍යවරුන් හා සත්ව කාර්ය මණ්ඩලය කෙනෙර හොඳින් රැකබලා ගත් අතර ඇය ඊයේ (31) දා අලුයම 4.30 ට පමණ එක් පිරිමි පැටවකු බිහි කළාය.

පසුව යළිත් දෙවැනි වතාවටත් පිරිමි පැටවෙකු ඊයේ පෙරවරු 10 ට පමණ බිහි කළ බව සහකාර අධ්‍යක්ෂකවරයා පැවසීය.


සුරංගි කෙනෙරත් නිවුන් පිරිමි පැටව් දෙදෙනාත් සුවෙන් සිටින බව ඔහු සඳහන් කළේය. පින්නවල අලි අනාථාගාරය ආරම්භ කර වසර 46 ක ඉතිහාසය තුළ නිවුන් අලි පැටවුන් දෙදෙනකු බිහි කළ පළමු අවස්ථාව  මෙය බව ද සහකාර අධ්‍යක්ෂකවරයා පැවසීය.  පින්නවල අලි අනාථාගාරයේ සුරංගි නමැති කෙනෙර බිහිකළ නිවුන් අලි පැටවුන් දෙදෙනා සිය මව සමග.


 -චමින්ද වැවතැන්න-