හලාවත ප්‍රදේශයේ විශ්‍රාමික ගණිත ආචාර්යවරයෙක් කොරෝනා වයිරසය ආසාදනය වී මියගොස් ඇති බවට මුහුණුපොතේ (ෆේස්බුක්) තිබෙනවා දුටු, 

ඔහුගෙන් ඉගෙනගත් ගෝලයින් කිහිපදෙනකු ඒ ගැන විපරම් කර බැලීමට එම නිවෙසට ගිය අවස්ථාවේදී ඔහු ජීවතුන් අතර සිටින අයුරු දැක ගැනීමට ලැබීමේ සිද්ධියක් වාර්තා වේ. මෙම විශ්‍රාමික ගුරුවරයාගේ නිවෙසේ ගේට්ටුවේ ‘මෙය නිරෝධායනය වන පුද්ගලයින් රැඳී සිටින පරිශ්‍රයකි” යනුවෙන් සඳහන් බෝඩ් එකක් ගසා තිබී ඇත. මේ හේතුව නිසා ගෝල පිරිස ඈත සිට නිවෙස දෙස බලමින් විපරම් කරමින් සිටියදී මියගියා යැයි  මුහුණුපොතේ පළවී තිබූ විශ්‍රාමික ගුරු මහතා කොස්සකින් නිවෙසේ ඉදිරිපස අතුගාමින් සිටින අයුරු දැක හිමින් සීරුවේ එතැනින් ඉවත්ව පැමිණ ඇති බව කියති.

මෙම විශ්‍රාමික ගුරුවරයා  කොරෝනා වයිරසය ආසාදනය වී මියගොස් ඇති බවට මුහුණුපොතේ පළවී තිබෙනවා දුටු ඔහුගෙන් ගණිතය විෂය ඉගෙනගත් ගෝලයින් සැලකිය යුතු පිරිසක් ඒ ගැන බලවත් කණගාටුව ප්‍රකාශ කරමින් මුහුණුපොතේ සටහන් යොදා තිබූ බව ද කියති. මුහුණුපොතේ පළවී තිබූ මෙය  දැක ඒ ගැන විපරම් කර බැලීමට ගිය

ඔහුගේ එම ගෝලයින් කිහිපදෙනා “සර් ජීවතුන් අතර ඉන්නවා. අපි සර්ව දැක්කා” යනුවෙන් පසුව මුහුණුපොතේ සටහනක් යොදා ඇත.  තමා මියගිය පසු ගෝලයින් දක්වන උපහාරය හා කෘතවේදීත්වය ජීවතුන් අතර සිටියදීම දැක ගැනීමට ලැබීම ලොකු භාග්‍යයක් කොට සලකන බව විශ්‍රාමික ගුරුවරයා ඔහුගේ සමීපතමයන් සමග පවසා ඇති බව ද දැනගැනීමට ඇත. විශ්‍රාමික ගුරුවරයා මියගිය පුවත මුහුණුපොතේ පළවී තිබෙනු දුටු තවත් විශාල පිරිසක් දුරකතනයෙන් එම නිවෙසට කතා කර විමසා ඇති බව ද කියති.

- ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය--