lanka-hospital-hand-grenade

නාරාහේන්පිට ලංකා හොස්පිටල් රෝහල් පරිශ්‍රයෙන් ඊයේ හමු වූ අත් බෝම්බයේ ආරක්ෂිත ඇණය ගලවා දැල්වෙන මදුරු දඟරයක අමුණා පසුව පුපුරායන ලෙස සකස් කර තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කර තිබේ. 


නාරාහේන්පිට ලංකා රෝහල් පරිශ්‍රයේ තිබී ඊයේ දහවල් මෙම අත්බෝම්බයක් සොයා ගත් අතර එම රෝහලේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීයකු වන හිටපු ගුවන් හමුදා වින්ග් කමාන්ඩර්වරයා පොලීසියට මේ ගැන දැනුම් දී තිබුණි.

රෝහලේ පළමු මහලේ වැසිකිළියක් තුළ හොඳින් පෙනෙන පරිදි තබා තිබී ඇති මෙම අත් බෝම්බය සම්බන්ධයෙන් ලද තොරතුරට අනුව එහි ප්‍රධාන ආරක්ෂක නිලධාරියා එය පරීක්ෂා කර ඇති අතර පොලිසිය එහි පැමිණෙන විට රෝහලේ පිටත පිහිටි ගරාජයකට එය ගෙනගොස් වෙන්ව තබා තිබේ.

එම ස්ථානයට ගිය නාරාහේන්පිට පොලීසිය අදාළ අත්බෝම්බය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශය කැඳවන ලදි.


එම ස්ථානයට පැමිණි පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශය, මෙම අත්බෝම්බය සක්‍රීය මට්ටමේ ඇති එකක් නොවන බව දන්වා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ සේවය කරන පුද්ගලයකු, සිදුවීම ඇසින් දුටුවකු සහ තවත් අයකුගෙන් පොලිසිය ප්‍රශ්න කර ඇති අතර සීසීටීවී කැමරා දර්ශන ආශ්‍රයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

නාරාහේන්පිට ලංකා හොස්පිටල්හි මේ වනවිට ප්‍රභූවරුන් දේශපාලකයින් රැසක් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඒ අය අතර කොරෝනා ආසාදිතවූ චමල් රාජපක්ෂ අමාත්‍යවරයාද සිටී.