ravi-kumudesh-speaks

ගුවන් තොටුපලින්  මෙරටට ඇතුළුවන දෙස් විදෙස් ගුවන් මගීන් PCR පරීක්ෂාවකට ලක් නොකරමින්, රට ඇතුළු කිරීම කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති අවිචාරවත් තීන්දුවක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් දන්වයි. ඔහුගේ නිවේදනයේ මෙසේ තිබේ.

‘‘සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වරයාගේ මෙම තීන්දුව ඔහු විසින් ගනු ලැබූවක්ද, එසේත් නැත්නම් කිසිවෙකු විසින් හෝ ඔහුගේ බෙල්ලට පිහියක් තබා ගනු ලැබූවක්ද යන්න සැක සහිතය. කෙසේ නමුත් රටම අවධානමේ හෙලමින් ගණු ලැබූ මෙම තීරණය සදහා තාක්ෂණික උපදෙස් දුන් කණ්ඩායම රටට හෙලි කරන ලෙස අප බල කර සිටිමු.

රෝගය වැලදීම හෝ බෝවීම වලක්වන කිසිදු කොවිඩ් එන්නතක් මෙතෙක් සොයාගෙන නොමැත.

එවැනි තත්වයක් යටතේ එන්නතකරණය කල අය "කොවිඩ් නොමැති අය" ලෙස සලකා ගෙන ඇති මෙම තීරණය තුල ඇත්තේ විශාල අමනෝඥ බවකි. එන්නත නිපදවන ලද සමාගමකට පවා නොමැති විශ්වාසයක්, අපේ රටේ මාර්ගෝපදේශ හදන ඊනියා විශේෂඥයින්ට ලැබී ඇත්තේ කෙසේද යන්න ප්‍රෙහේලිකාවකි.

එන්නත් නිපදවන  රටවල් ඇතුළු ලොව කිසිදු රටක් රට එන්නත පිළිබදව මෙවන් විශ්වාසයක් තබා නොමැති අතර, වසංගතය පැතිරීම වලක්වා ගැනීමට නොහැකිව දීර්ග සංචරණ සීමා පැනවීමට සිදුවී ඇති රටක් ලෙස, සංචර සීමා යොදමින් සිටින අතර වාරයේදී මෙවන්  තීරණයක් ගැනීම රට බරපතල අනතුරකට.ලක් කිරීමකි.

PCR පරීක්ෂාවක සංවේදීතාවය 70% අඩුය. දින දෙක තුනක ගුවන් කාලය යණු, ආසාධිත තත්වය ඉතා පහසුවෙන් වෙනස් විය හැකි කාල පරාසයකි. එමෙන්ම ඉන්දියාව, පාකිස්ථානය මෙන්ම ශ්‍රී ලංකාව තුලද ව්‍යාජ ලෙස සකස් කෙරෙන් PCR වාර්ථා පවතින බව ඉතා කුප්‍රකට රහසකි.

එවැනි තත්වයක් යටතේ වෙනත් රටක සිදු කල PCR පරීක්ෂාවක් පිළිබදව 100% විශ්වාස කරමින්, රටේ මහ ජනතාව අනතුරේ හෙලීම සදහා සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශ යොදා ගනිමින් සිටින ආකාරය ඉතා ලජ්ජාසහගතය‘

රවී කුමුදේශ්

සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය
කැදවුම්කරු
වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය