polgasowita-incident

මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් වූ  බහින්බස්වීමකදී අයියාගේ පහරකින් තුවාල ලබා  දින තුනකට පසුව ප්‍රතිකාර ලබමින් සිටි මල්ලී  රෝහලේදී (15) දා මියගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.  මෙසේ මියගොස් ඇත්තේ කැස්බෑව, මාකන්දන ප්‍රදේශයේ පදිංචි  41 හැවිරිදි කරණවෑමියකු බව පොලීසිය  කියයි.  මියගිය පුද්ගලයා විවාහ වී වෙනම ජීවත්ව සිටින අතර මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන්  කතා බහ කර ගැනීම සඳහා ඉකුත් 12 දා තම උපන් නිවෙස පිහිටි පොල්ගස්ඔවිට,

හෙරලියාවල ප්‍රදේශයේ නිවෙසකට බිරිඳ සමග පැමිණ ඇතැයි පැවසේ. එහිදී ගනුදෙනුව සම්බන්ධයෙන් සිය වැඩිමල් සහෝදරයා සමග කතා බහ කරමින් සිටියදී එය දුරදිග යාමෙන් බහින්බස්වීමක් ඇතිවී අයියා මල්ලීට පහරදීමක් සිදුකර ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පැවැසේ.



 එම පහරදීම සිදුවන අවස්ථාවේදී මියගිය පුද්ගලයා ස්නායු ආබාධයක් හේතුවෙන් ගෙලට බෙහෙත් ප්ලාස්ටරයක් දමා තිබී ඇති බවද කියති. ඒ අනුව පහර කැමෙන් තුවාල ලැබූ පුද්ගලයා එදින ප්‍රතිකාර සඳහා රෝහලකට නොගොස් ඉකුත් 14 දා පිළියන්දල දිසා රෝහලට ඇතුළත් වී ඇති අතර එහිදී වෛද්‍යවරුන් රෝගියා පරික්ෂාකොට වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලටත් පසුව කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී (15) දා උදෑසන මියගොස් ඇති බව පොලිසිය පවසයි.  ඒ අනුව පහරදීම සිදු කළ බවට සැක කෙරෙන පොල්ගස්ඔවිට,

හෙරලියාවල ප්‍රදේශයේ පදිංචි 47 පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයා සහ ඔහුගේ බිරිඳ (15) උදෑසන කහතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.  මියගිය පුද්ගලයාගේ දේහය පීසීආර් පරීක්ෂණයකට ලක්කිරීමට නියමිත අතර එහි වාර්තාව ලැබීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.  අත්අඩංගුවට ගත් සැකකරුවන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

-ශාන්ත ප්‍රදීප් කුමාර -(ලංකාදීප)