madu-river-kadolana

රට වසා තිබියදී හෝටල් සංකීර්ණයක් සෑදීමට ලෝක උරුමයක් ලෙස නම් කර ඇති මාදු ගග රැම්සා තෙත්බිමට අයත් යැයි කියන බළපිටිය ගොඩගෙදර ප්‍රදේශයේ ගං ඉවුරුවල කඩොලාන ශාක කපා දමමින් සිටින බව ප්‍රදේශවාසීහු කියති.මේ වනවිට විශාල ප්‍රමාණයේ පරිසර හානියක් සිය පරිසර පද්ධතියට සිදු කර ඇති බවද බළපිටිය, ගොඩගෙදර ගම්වාසීහු පවසති. 

ගං ඉවුරුවලට අයත් වෙල් අනෝදා, කිරල, කඩොල් ආදී ශාක රැසක් ඩෝසර් යොදා බිම හෙළා තිබෙන බව ඔවුහු පැවසූහ. ම

ේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශවාසියෙකු වන බළපිටිය ප්‍රාදේශීය සභාවේ පාලක පක්ෂයේ මන්ත්‍රී නිහාල් ද සොයිසා මහතා මෙසේ කීව්වේය.

"ඇත්තටම මේක මහා පරිසර විනාශයක්. මේ අය මේ විනාශ කරන්නේ ලෝක උරුමයක්. මාදු ගග රැම්සා තෙත් බිමක් ලෙස නම් කරලයි තියෙන්නේ, මාදු ගග ආරක්ෂ වෙලා තියෙන්නෙත් මේ රක්ෂිත වලිනුයි. අක්කර දහ අටක් විතර සුද්ධ කරලා කියලයි දැන ගන්න තියෙන්නෙ."

 මේ අතර අදාළ වන විනාශය සිදු කරන පුද්ගලයා සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවනු අපිට දක්නට ලැබිණි. මෙම අදාළ සිද්ධිය පිළිබද හික්කඩුව වනජීවී කාර්යාලයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු කීව්වේ මේ සම්බන්ධයෙන් සොයා බැලූ බවත් මේ කැලෑව කැපූ අයට එහි අයිතියක් තියෙනවා නම් ඒසාක්ෂි අරගෙන සිය කාර්යාලයට එන ලෙස දැන්වූ බවත්ය. අනතුරුව අදාළ වන විනාශය සිදු කිරීමට සම්බන්ධ යැයි කියන පුද්ගලයාගෙන් මේ පිළිබද විමසූවිට හෙතෙම මෙසේ පවසා සිටියේය. " අපිට මේ ඉඩම්වල අයිතිය තියෙනවා. හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමටයි අපි සුද්ධ කළේ. ”

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)-