භාණ්ඩ මිල පාලනය කිරීමට යයි සම්පුර්ණ බොරුව මවා පාමින් හදිසි නීතිය  ගෙන ඒමට කටයුතු කිරීම ආණ්ඩුවේ වැරදි සහ නොහැකියාව වසා ගැනීම සඳහා ගෙන එනු ලැබූ අත්තනෝමතික වැඩක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ඊයේ  (02) පැවසීය. ප්‍රජාතන්ත්‍රවාදය කණ පිට හරවමින් ඒකාධිපති ගමනට අර අඳින හදිසි නීති ගැසට්ටුව වහාම ආපසු හරවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. 



කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

වර්ෂ 2003 අංක 9 දරණ පාරිභෝගික පනත හරහා මේ කටයුත්ත මැනවින් කර ගැනීමේ හැකියාව ඇතත් කඩිමුඩියේ ආණ්ඩුව හදිසි නීතිය ගෙන ඒමෙන් තහවුරු  වන්නේ ඊට වඩා භයානක කටයුත්තකට ආණ්ඩුව අර අදිමින් සිටින බවද ප්‍රේමදාස මහතා සඳහන් කළේය. රටේ භාණ්ඩ මිල හෝ විදේශ සංචිත ප්‍රමාණය හෝ පාලනය කර ගැනීමට බැරි ආණ්ඩුවට හදිසි නීතිය අවශ්‍ය වන්නේ ජනතාව පීඩාවට පත් කිරීමට පමණක් යැයිද විපක්ෂනායකවරයා කීවේය. පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීමට පාරිභෝගික පනත සක්‍රීය කරන ලෙසත් ඒ  හරහා පාරිභෝගික භාණ්ඩ සගවා ගෙන සිටින පුද්ගලයන්ට දැඩි දඬුවම් පමුණුවන  ලෙසත් ඔහු ඉල්ලා සිටියේය. හදිසි නීතිය ගෙන ඒමේ ක්‍රියාවලියට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සහමුළින්ම විරුද්ධ බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.