kahawatta-guruge-menik-story

පසුගිය සතියේ ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකුවූ කහවත්තේ ගුරුගේ මැණික් මුදලාලි හෙවත් ජිනදාස ගුරුගේ මහතා දිවියෙන් සමුගෙන ගියේය. මේ ඔහු ගැන නොකියැවුණ කතාවයි.
ලක් පොලොවෙන් මතු වුණු කිලෝ හතළිස්තුනක් බරැති විශාලතම හා අඟනා ම නිල් මැණිකේ හිමිකරුවා වූයේ ද ජිනදාස ගුරුගේ මැණික් මුදලාලි ය. හෙතෙම මහා ධනයකට හිමිකරුවා විය. එපමණක් නොව නැතිබැරි අහිංසක මිනිසුන්ගේ දුක නිවූ ශ්‍රේෂ්ඨ දානපතියෙක් ද විය.  ලංකාවේ මැණික් පිළිබඳ දීප්තිමත් සන්නාමය බවට පත් වන්නට කහවත්තේ ජිනදාස ගුරුගේ ට හැකි විය.



රුහුණු රටින් රයිගම්කෝරලයට පැමිණි වැවිලිකරුවකු වූ ඉංගිරියේ නම්බපාන ප්‍රදේශයේ කුලවර්ධන ගුරුගේ සහ ඇලන් වික්‍රමසුරිය ජිනදාස ගුරුගේ ගේ දෙමාපියන් ය. අබේදාස, පියදාස ,විමලාවතී,ලීලාවතී ගුරුගේ යන සහෝදර සහෝදරියන් අතර පවුලට 1938.12.25 උපන් බඩ පිස්සා ජිනදාස ගුරුගේ විය.

කහවත්ත ඉලංගකෝන් වලව්ව හා පැවති සමීප සබඳතාව මත ඔහුගේ පියා ඉංගිරියේ සිට කහවත්ත ට පැමිණෙන්නේ ඉලංගකෝන් වලව්වේ වැවිලිකරුවකු ලෙසිනි. මුලින්ම කහවත්ත නගරයේ වත්මන් පොදු වෙ‍ළඳ පොළ භූමියේ කුඩා ස්ථානයක පින්තූර රාමු කිරීමේ යෙදුණු ගුරුගේ වර්තමාන සුබසේකර වෙ‍ෙළඳසැලට යාබද ස්ථානයේ කුඩා කඩ කාමරයක සිය වෘත්තීය කරගෙන ගියේය. මේ අතර රජයේ වතුවල පඩි දිනවලදී රෙදි පිළි රැගෙන ඒවා අලෙවි කිරීමෙහි නියැළුණි.

දිනක් රූමත් තරුණියක් සිය ඡායාරූපය රාමු කර ගැනීම සඳහා ගුරුගේ වෙතට පැමිණෙයි. මෙසේ පැමිණියේ තම ජීවන රජදහන තනා ලෝක ප්‍රකට මිනිසකු බවට පත් කරන වාසනාවන්තිය බව ඔහු නොසිතන්නට ඇති එදා ඒ පැමිණි කාන්තාව කාලයාගේ ඇවෑමෙන් ගුරුගේ සිය ජීවන චාරිකාවේ මහා ශක්තිය බවට පත්කර ගනී. ඇය නමින් ස්වර්ණලතා කරුණාරත්න විය. කහවල පතිරැන්නැහැලාගේ කරුණාරත්න සහ කළුතන්ත්‍රී ලියනගේ කරුණාවතී ඇගේ මවුපියන්ය.


මෙම පවුලේ පිරිමි දරුවන් හත් දෙනෙක් වූ අතර සිටි ස්වර්ණා එකම ගැහැනු දරුවායි. 1968 වසරේ දී ස්වර්ණා කරුණාරත්න සමඟ විවාහය ජීවිතයට ඇතුළත් වන ගුරුගේ, මැණික් ක්ෂේත්‍රය තුළ හිණිපෙත්තට ම පැමිණෙන්නේ ඉන් පසුව ඇරඹූ ගමනෙනි.

පවුලෙන් ගැහැනු දරුවන් හත් දෙනෙකු සහ එක් පුතෙකු ජාතියට දායාද විය. ඔවුන් අචිනි, ලක්ෂි, ගයානි, රුවිනි, දිලිනි, දුලානි, ගිෂානි හා ගයාන්ය. ගුරුගේ පවුලට එකතු වූ බෑනාවරුන් හා ලේලිය වන්නේ උපාලි විජේගුණවර්ධන, සමන් උපසේන, නිශාන්ත ලියනගේ රොෂාන් දිනපාල, නලීන් ප්‍රනාන්දු, චන්න නිශ්ශංකආරච්චි, සමන්ජලී කුඹුරක්පෙරුම, සචින්ත ධර්මදාස යන අයයි.

මේ අතර කුඩා දලං වැනි මැණික් ගල් මිල දී ගැනීමට කහවත්තේ ඩබ්.ඇම් දියෝනිස් (පොලිසිය කඩේ මුදලාලි) මැනේජර් මහත්තයා නොහොත් වීරසිංහ යන දෙදෙනා තමන් සුළුවට ඇරඹූ මැණික් වෙ‍ෙළඳාම දියුණු කර ගැනීමට උදව් උපකාර ලබා දුන් බව ගුරුගේ අවස්ථා ගණනාවක දී අප සමඟ පවසා ඇත.

එවන් කෘතහස්ත ගුණයක් ඔහු සතුව පැවති බව තේරුම් ගත හැකිය. පසුව කොලොන්න රඹුක උඩවලව ඇඹිලිපිටිය පනාමුරේ කලවාන, නිවිතිගල ආදී ප්‍රදේශවල ගොස් පතල් කැපීම මෙන්ම මැණික් මිලදී ගැනීමෙන් මැණික් කර්මාන්තයේ ඉතා ඉහළට පැමිණි බව ඔහුගේ සමීපතමයන් පවසයි. මේ වන විට මැණික් පිළිබඳව වූ තාක්ෂණික ඥානය මුහුකුරා ගොස් තිබිණි. තට්ටු හැට හැත්තෑවේ ගැඹුරු පතල් මෙන්ම පතස් නැමති ලී දඬු රහිතව පතල් කැණීම් පිළිබඳව විශාරදත්වයට පත් වූයේ ගුරුගේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස ජපන් තාක්ෂණය මත සකස් කළ මැණික් ගැරීමේ ස්වයංක්‍රීය යන්ත්‍රය වෙනුවට ගුරුගේ ගේ පතල් තාක්ෂණික ශිල්පියකු වූ බෙලියත්ත බාසුන්නැහැ නමින් ප්‍රකට අභාවප්‍රාප්ත ආර්.එල්.පී.බෙලිඅත්ත ලවා ශ්‍රී ලංකාවේ යන්ත්‍රානුසාරයෙන් මැණික් ගැරීමේ යන්ත්‍රය නිෂ්පාදනය කිරීම ට ද ගුරුගේ ට හැකි විය. අදට ද විවිධ නව්‍යකරණයට ලක්වෙමින් ශ්‍රී ලංකාවේ භාවිත වන්නේ එම යන්ත්‍රයයි.



දිනක් පැල්මඬුල්ල ප්‍රදේශයේ ගෙපළක් කපන පුද්ගලයෙකු ට ලැබුණු එක්තරා මැණික් කුට්ටියක් අලෙවි කිරීම සඳහා ගුරුගේ මැණික් වෙත රැගෙන එන ලද්දේ එවක මැණික් ව්‍යාපාරයේ යෙදී සිටි කිහිප දෙනෙකුට ම පෙන්වීමෙන් අනතුරුවය. එය පරීක්ෂා කළ අය පවසා තිබුණේ මෙම ගල එතරම් වටිනා එකක් නොවන බවය. එහෙත් ගුරුගේ තමාගේ තියුණු මැණික් ඇස යොමුකර මෙම මැණික පරීක්ෂා කර බලා එහි වටිනාකම අවබෝධ කර ගත්තේය.

ඒ කාලය තුළ ඊට විශාල වටිනාකමක් ගෙවා ඔහු මිලදී ගත් අතර පසුව ශ්‍රී ලංකාවේ එතෙක් ලැබුණු කිලෝග්‍රෑම් හතළිස් තුනක් බරැති විශාලම හා වටිනාම නිල් මැණික මෙය බවට පත් විය. මේ හැර ගුරුගේ සතු මැණික් පිළිබඳ විශේෂඥ දැනුම හුවා දැක්වීමට තවත් කරුණු වුවමනා නැත.

ගුරුගේ යනු මෙරට මැණික් කර්මාන්තය තුළ විසල් චරිතයකි. මැණික් ක්ෂේත්‍රය අනාගතයට ඔසවා තබනු වස් ඊට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම ලබා ගැනීමට පුරෝගාමී මෙහෙවරක් සිදු කළ අයෙකි. දෙ⁣වැනි මැණික් පරපුරක් බිහි කරන්නට නවක පිරිස් මැණික් කර්මාන්තයට යොමු කිරීමට ද ගුරුගේ මැණික් කටයුතු කර ඇත.

ගුරුගේ තරුණ අවදියේ ම කහවත්ත සැෆයර් ක්‍රීඩා සමාජය අරඹමින් එහි සභාපතිවරයා ලෙස ගම් මට්ටමේ සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට නායකත්වය ලබා දුණි. ඊට නොමඳ අනුග්‍රහයක් සැපයුවේද මොහු විසිනි. එපමණක් නොව පාපැදි ක්‍රීඩාව තුළ ද ගුරුගේ අනුග්‍රහය මත පැවැත්වූ දැවැන්ත පාපැදි සවාරි අතර දීපචාරිකා හා ගුරුගේ මැණික් පාපැදි සවාරිය ලංකාවේ පාපැදි ශූරයින්ට මෙන්ම ක්‍රීඩාලෝලීන්ට ද විශාල ආශ්වාදයක් ගෙන දුණි. හැට හැත්තෑවේ යුගය තුළ පාපැදි ක්‍රීඩාව ප්‍රභාවත් කළ ඇන්තනි සීමන්ස් මොරිස් කුමාරවේල්, ඒ.ඇම්. සුමනවීර, බොනිපස් පෙරේරා ඇන්ඩර්සන් සොහොයුරන් වැන්නන්ට සිය හැකියා රටට පෙන්වන්නට අවස්ථාව වැඩි වශයෙන් ගුරුගේ ලබා දුනි.

. 1964 වසරේ සිට වසර පනස්තුනක් අඛණ්ඩව අඟනා ධර්ම ආදර්ශයක් රැගත් ගුරුගේ මැණික් පොසොන් තොරණ ප්‍රදර්ශනය කළේය. ඊට සමගාමීව මහා සංගීත ප්‍රසංග හත අටක්, ලංකාවේ දක්ෂතම හිටිවන කවීන් ගේ කවි මඬුව නොමිලයේ ම රස විඳීමට ජනතාවට අවස්ථාව උදා කළේය.

ගුරුගේ නිවසේ සිට කහවත්ත නගරයේ සැතපුම් කිහිපයක් දුරට විහිදුණු ජනතා පෝලිමක් අවුරුදු දාට දැක ගත හැකිය.ඔවුන් පැමිණෙන්නේ ගුරුගේ ලබා දෙන තුටු පඬුරු රැගෙන යාමටයි. මිය යාමට පෙර නිවසේ රැඳී සිටි අවසන් දවස දක්වාම දිනකට සිය නිවසට පැමිණෙන සිය ගණනකගේ දුක්ගැනවිල්ල ට උපකාරී වීම ගුරුගේ දින චර්යාවේ වැදගත් ම සිදුවීමකි.

1978 නැගෙනහිර පළාතේ හමාගිය සුළි සුළඟින් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය ආහාරද්‍රව්‍ය තොග ලොරි රථ පනහක් හැටක් රැගෙන ගොස් බෙදා දීමට ඔහු කටයුතු කළ අයුරු කහවත්තේ පැරණි මිනිස්සුන්ට තවමත් අපූරු මතක සටහනකි. දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඇසුර මත අම්පාර දිස්ත්‍රික්කයේ කොටි තර්ජනයට ලක්වුණු ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකළේය. එය නිවාස සියයකින් සමන්විත විය.

සුනාමි ව්‍යසනය අවස්ථාවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ හා පතල්කරුවන්ගේ මහා සංගමයේ සභාපතිවරයා ලෙස හම්බන්තොට මයුරපුර නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමේ දී ද සිය අනුග්‍රහය ලබා දීමට ඉදිරිපත් විය.

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ඉදිවුණු අභිමංසල,විශ්වවිද්‍යාල වරම් ලද දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීම, පාසල් දරුවන් වෙනුවෙන් පාසල් ඇඳුම් හා පොත්පත් බෙදාදීම, ඇස් කණ්ණාඩි ඇතුළු වෛද්‍ය උපකරණ බෙදාදීම් මෙතෙකැයි කිව නොහැකි තරම්ය.

විවිධ දහස් ගණනක් අසරණ රෝගීන් සිය මුදල් වැයකර සුවපත් කර තිබේ. කහවත්ත රෝහලට භික්ෂූ වාට්ටුවක් ඉදිකළේ ද ජිනදාස ගුරුගේ විසිනි.



ජේ.ආර් ජයවර්ධන සමයේ ලංකාව ට පැමිණි එංගලන්තයේ මහරැජිනට රත්නපුරේ ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරික නිමල් පතිරණගෙන් රැජිනට තෑගි කළ නීල මාණික්‍ය ලබා දීමට ද මැදිහත් වූයේ ගුරුගේ ය. ඔහු ශ්‍රී ලංකාවේ සෑම දේශපාලන නායකයකුම ඉතා ළඟින් ඇසුරු කළේය. වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ ඒ අතර ඉතා සුවිශේෂී විය.

ඔහු නීතීඥයෙකු ලෙස රත්නපුර පැල්මඬුල්ල මහේස්ත්‍රාත් අධිකරණවලට පැමිණි සෑම අවස්ථාවකම ගුරුගේ නිවසට පැමිණීම සිදු වූ බව ගුරුගේ මහතා නිතර සිහිපත් කරයි. එය අදටද සපත කරමින් අගමැති මහින්ද රාජපක්ෂ නිකුත් කළ ශෝක පණිවිඩයේ ද මෙසේ සඳහන් කොට ඇත.

" දේශපාලන ජීවිතයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේදී ඉතා ළඟින් ඇසුරු කළ ජිනදාස ගුරුගේ මහතා මියයන තුරුම ඒ කුලුපග මිතුරුකම දැඩි සේ ආරක්ෂා කළේය. අපගේ එම මිත්‍රත්වය නිසාම දේශපාලන වශයෙන් කුමන නිලයක් දැරුවද මම රත්නපුර කහවත්ත ප්‍රදේශයට ගිය කවර අවස්ථාවකදී වුවද ගුරුගේ නිවහන ට ගොඩ වීමට අමතක නොකළෙමි "

රටේ ඉහළ ම පැලැන්තියේ මිනිසුන් සමඟ මෙන්ම පතල් කර්මාන්තයේ යෙදෙමින් මඩ තැවරුණු ඇඳුමින් සැරසී නිවසට එන ඕනෑම අයෙකු වෙනුවෙන් ද පැවති සුහද සංග්‍රහශීලී පිළිගැනීම ගුරුගේ මැණික් මෙතරම් විශිෂ්ට ව්‍යාපාරිකයෙකු කිරීම ට ආශීර්වාදයක් වන්නට ඇති.

ජීවිතයේ අභියෝග ජයගනිමින් දියුණුවේ හිණිපෙත්තට ම නැඟීමට ඉවසීම,නිර්මාණශීලීත්වය කැපවීම, ඉතා වටිනා බව ඔහු අපට වටහාදී ඇත.

(තුෂාර හෙට්ටිආරච්චි-කහවත්ත)