epic-digital-court

ඖෂධ නියාමන අධිකාරියට ආනයනය කරන ලද ඖෂධවල ප්‍රමිති සහ සංයුතිය හඳුනාගැනීමට නොහැකි වන ලෙස දත්ත විනාශ කිරීම  මෙම දත්ත මැකීමේ අරමුණ විය හැකි බවත්, එවිට ජාවාරම්කරුවන්ට ඕනෑම ඖෂධයක් රට තුළට ගෙන ආ හැකි වනු ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනී පෙරේරා මහත්මිය හමුවේ ඊයේ (29) ප්‍රකාශ කළේය.   වසංගතයක් පවතින අවස්ථාවක ඖෂධ ජාවාරම්කරුවන්ගේ වුවමනාවට මෙවැනි සංවේදී දත්ත මකාදැමීම රෝගී ජනතාව මරාදැමීමේ අරමුණින් කරන ලද අමානුෂික ක්‍රියාවක් වන බවත් මෙවැනි ක්‍රියා ඩිජිටල් ත්‍රස්තවාදය' යනුවෙන් හැඳින්විය හැකි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට අයුතු ලෙස ඇතුළු වී එහි දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් 'එපික් ලංකා ටෙක්නොලොජි පුද්ගලික සමාගමේ සහායක ඉංජිනේරුවරයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.



අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරු ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් නියෝග නිකුත් වූ අතර, එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පෙරකදෝරුවත්ත, හීරලුගෙදර, වල්පිට පදිංචි රාමනායක ආරච්චිගේ දොන් ප්‍රමෝද් දිලුප රාමනායක නැමැත්තාය.පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සහ අපරාධ  පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.කේ. සෙනාරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටියහ. 

මෙම දත්ත පද්ධතියේ එක් එක් ඖෂධ ලංකාවට ගෙන්වන ආකෘති පත්‍ර අඩංගු ලේඛන හා එම ඖෂධවල සංයුතිය අඩංගු  ලේඛන වෙන වෙනම ගොනු දෙකක තිබී ඇති බවත්, මේ වන විට එම රුපියල් ලක්ෂ 11 අධික වටිනාකමකින් යුත් එම ගොනු මැකී තිබූ බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. ඖෂධ නියාමන අධිකාරිය මෙම දත්ත පද්ධතියේ ආරක්ෂාව සඳහා කටයුතු කිරීමට එපික් ලංකා ආයතනයට ලබා දී ඇ ත්තේ රුපියල් ලක්ෂ 5 මුදලක් ගෙවමින් බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සදහන් කළේ, මෙම සැකකරු ඉකුත් ජූලි 09 වැනි දින ඔහුගේ IP අංකයෙන් පැරණි ආකෘති පත්‍ර ගෙන ඒවා නව ලේඛන හා අමුණා වෙනම ගොනුවක් සාදා එම ගොනුවම විනාශ කර ඇති බවට කරුණු අනාවරණය වන බවය. සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යාගාරයෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික විශ්ලේෂණයකින් පසු අදාළ අයි පී අංකය හඳුනාගත් බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේත්ය. මෙම සැකකරු ඉකුත් ජුලි 09 වන දින පාන්දර 3.47 සිට උදෑසන 10.29 වන තෙක් අතර කාලයේදී ඔහුගේ පෞද්ගලික දුරකථනය මගින් දත්ත ගබඩාවට පිවිස ඇති බවට අනාවරණය වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.  ඒ අනුව, එදිනම සවස ඖෂධ නියාමන අධිකාරිය සිය දත්ත  ගොනු මැකී ඇති බවට මෙම දත්ත පද්ධතිය භාරව සිටි එපික් ලංකා ආයතනයට දැනුම් දී ඇති බවත් එහිදී එය පරික්ෂා කිරීමෙන් අනතුරුව සැකකරු අතින් එම දත්ත ගබඩාව වැරදීමකින් මැකී ගිය බවට දැනුම් දී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.



මෙලෙස වටිනා දත්තයන් ආරක්ෂා කර තිබියදී වැරදීමකින්  මැකීමට හේතුවක් නොමැති අතර, දුරකතනයකින් යමක් මකා දමනවා මෙන් පහසුවෙන් කළ නොහැකි බවත් ඒවා මකා දැමීමට නම් අණ කිරීම් පහක් හෝ හයක් ලබා දිය යුතු බවත් නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සැකකරු දත්ත ගබඩාව තුළ සැරිසැරු ඉතිහාසය (History) පවා මකා දමා ඇති බවත් වැරදීමකින් දත්ත මැකී ගියා නම් එසේ කරන්නේ කුමන අවශ්‍යතාවක් මත ද යන්න ගැටලුවක් බව සදහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, සැකකරුගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී මෙම දත්ත මැකීයාම සිදුවූ අත්වැරදීමක් බව සදහන් කර සිටි බවද සඳහන් කළේය.  කෙසේ වෙතත්,

එය ඖෂධ ජාවාරම්කරුවෙකුගේ හෝ කණ්ඩායමකගේ ඉල්ලීම මත සිතාමතා චේතනාන්විතව සිදුකළ වංචාවක් වනු ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා  අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. මෙම සැකකරු විසින් දත්ත මැකීම සිදුකර ඇත්තේ ඔහු එපික් ලංකා ආයතනයෙන් අස්වීමට ලිපියක් පවා භාර දී තිබියදී බවට කරුණු අනාවරණය වන බවත් එම සේවකයා ආයතනයෙන් අස්වීමට දින 10ක් පමණක් ඉතිරිවී තිබියදී මෙවැනි වගකීම් සහගත කාර්යයට යෙදවීමෙන් ආයතනයේ පවතින වගකීම් විරහිතභාවය පෙනී යන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දැක්විය.

සැකකරු දත්ත මකා දැමුවේ කුමන අරමුණකින්ද, ඒ සඳහා ඔහුව පෙළඹවූ ජාවාරම්කරුවන් කවුරුන්ද, මෙම දත්ත මකාදැමීමට එපික් ලංකා ආයතනයෙන් අනුබලදීමක් සිදුවුණිද යන්න පිළිබඳ  වැඩිදුර විමර්ශනයක් සිදුකරන බවත් ඒ අනුව සැකකරු මෙ අවස්ථාවේ ඇප මත මුදා හල හොත් විමර්ශන වලට බාධා විය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා  සිටියේය.  ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මින් ඉහතදී එපික් ලංකා  ටෙක්නොලොජි පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී  තරින්ද කල්පගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු මේ වන විට අධිකරණයෙන් ඇප නියම වී ඇත.


 -නිමන්ති රණසිංහ (ලංකාදීප)-