bus-service-after-lockdown-release

ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසුව පෞද්ගලික බස් රථ සේවා ආරම්භ කිරීමේදී එන්නත් දෙකම ලබාගත් යැදුරු සහ කොන්දොස්තර මහත්වරුන් පමණක් සේවයේ යෙදවීම ඇතුළු සැලසුම් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය. ඒ අනුව බස්නාහිර පළාතේ ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ 6,300ක පමණ සේවය කරන රියැදුරු සහ කොන්දොස්තර මහත්වරුන්ට මෙන්ම පළාත් ප්‍රවාහන

අධිකාරියේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල හතකට අනුයුක්තව සේවයේ නිරත නිලධාරින්ටද එන්නත් කාඩ්පත් අනිවාර්ය කර ඇති බව සභාපතිවරයා පවසා සිටියේය.

මේ අතර එන්නත් දෙකම ලබාගත් මගීන් පමණක් ඉදිරියේදී බස් රථවල ප්‍රවාහනය කිරීමට සැලසුම් කෙරෙන බවත්, ඒ සඳහා මගීන් උනන්දු කිරීම හා දැනුවත් කිරීම් අත්පත්‍රිකා හා නිවේදන මගින් හරහා සිදුකිරීමට නියමිත බවත් ඒ මහතා සඳහන් කළේය. එසේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලබාදෙන නිර්දේශයන්ට අනුව ආසන ධාරිතාව තීරණය කරන බවත්, යම් හෙයකින් එම සීමාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කෙරෙන බස් රථ වෙතොත් මාර්ග පරීක්ෂක නිලධාරීන් යොදවා නිරන්තරයෙන් ඒ පිළිබඳ වැටලීම් කිරීමට සැලසුම් කර ඇති බවත් සභාපතිවරයා පවසා සිටියේය. එමෙන්ම දැනට බස් රථ ධාවනය වන මාර්ගවල ධාවන කාලසටහන් සංශෝධනය කර ධාවනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අවසර ලබාදීමට කටයුතු කරන බවත්, දෛනික කාලසටහන්වලට අනුව අවසන් ගමන්වාරය අනිවාර්ය බවත් ප්‍රසන්න සංජීව මහතා සඳහන් කළේය.

(ශාන්න ප්‍රදිප් කුමාර කුලරත්ත)