embilipitiya-incident

ඇඹිලිපිටිය රෝහල අසල පස්වැනි පටුමගේ නිවසක් ඉදිරිපිට මාර්ගයේ කාන්තාවකට වෙඩි තබා ඉකුත් 26 වැනිදා රාත්‍රියේ මරා දමා ඇතැයි ඇඹිලිපිටිය පොලිසිය කියයි.  වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ තිස් පස් හැවිරිදි දෙදරු මවක බවත් එම ඝාතනයට සැකපිට මියගිය කාන්තාවගේ හතළිස් හැවිරිදි සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති  බවත් පොලිසිය පවසයි. 

මෙසේ මියගොස් ඇත්තේ අබේසිංහ කම්කානංගේ ඉන්ද්‍රා මල්කාන්ති නමැත්තියක බව පොලිසිය කියයි.  වෙඩි තැබීමට යොදාගත් බව කියන මෙරට නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ ගිනි අවියක්. බෝර දොළහේ තුවක්කුවලට යොදන හිස් පතරොම් කොපුවක් තම බාරයට ගත් බවත් පොලිසිය පවසයි.  පවුල් ආරවුලක් මත සිදුවූ බහින්බස් වීමක්  දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සිදු වන්නට ඇතැයිද පොලිසිය සැක කරයි.

එදින රාත්‍රී 7.30 ට පමණ මෙම දෙදෙනා  අතර යම් ආරවුලක් ඇතිවීමෙන් අනතුරුව  මියගිය කාන්තාව තම වසරක් වයසැති සිගිති දරුවා සමග තම පදිංචි නිවෙසින් පිටතට  පැමිණ මියගිය කාන්තාවගේ මහගෙදර යාමට පිටත්වීමට යාමේදී මාර්ගය මැදදී වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය පවසයි.

එම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ මියගිය කාන්තාවගේ බාල සහෝදරයාද එම  ස්ථානයේ සිට ඇති අතර වෙඩි වැදුණු කාන්තාව ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල  වෙත රැගෙන ගොස් ඇතත් ඒ වනවිටත් ඇය මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මල්ශාලවක හිමිකරුවකු වන සැකකරු කෝටිපති ව්‍යාපාරිකයකු බවත් එම තැනැත්තා මීට පෙර විවාහයක් කරගත් තැනැත්තකු බවත් පොලිසිය සඳහන් කළාය.

සිදුවීම වූ ස්ථානය අසළ නිවසක හා මියගිය කාන්තාව පදිංචි නිවසේ සීසීටීවී කැමරා පද්ධති සවිකර තිබූ බවත් මියගිය කාන්තාවන්ගේ නිවෙසේ තිබූ කැමරා පද්ධති පරීක්ෂා කිරීම සඳහා තම බාරයට ගත් බව පොලිසිය පවසයි.  මේ පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්‍ෂණය ඇඹිලිපිටිය අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය විසින් එදින පස්වරුවේ පවත්වනු ලැබීය. එම මළ සිරුර ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයකුට ඉදිරිපත් කර පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.


 රෝහණ සමරවීර -