නිරෝධායන ඇදිරිනීතිය කාලසීමාවේදී දිවා රාත්‍රී පොළොන්නරුවේ පවතින ප්‍රධාන ජාතික වනෝදනවල වන අපරාධ මෙන්ම සතුන් දඩයම් කිරීම ඇතුළු විවිධ අපරාධ වැඩි වී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොළොන්නරුව වැටලීම් ඒකකය පවසයි.ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය, 

මින්නේරිය. මාදුරුඔය. වස්ගමුව. සෝමාවතිය. ත්‍රිකෝණමඩුව මෙන්ම ඇලහැර අභය භූමී රක්ෂිත තුළ මෙම අපරාධ වැඩි වශයෙන් සිදුවන්නේ ඇතැම් ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලන නායකයන්ගෙන් සහ බලගතු ධන කුවේරයන්ගෙන් බව මේ පිළිබද සිදුකළ විමසීමේදී පොළොන්නරුව වනජීවී වැටලීම් ඒකකයේ අඩවි සහකාර ඩබ්.එම්. කුමාරසිරී විජේකෝන් මහතා පැවසීය.

ඒ අනුව තම නිලධාරීන්ට විවිධ වැටලීම් සිදුකිරීමට සිදුව ඇත්තේ ඇතැම් ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ තර්ජන ගර්ජන හා බාධාකිරීම් යටතේ බවද විජයකෝන් මහතා සඳහන් කළේය.මෙම ජාතික වනෝද්‍යාන තුළ අනවසර වගා කිරීම්, සතුන් දඩයම් කිරීම, වෘක්ෂ ලතාවලට හානිකර වැව ජාවාරම් කිරීම, නීති විරෝධි මැණික් පතල් කැණීම් කිරීම ඇතුළු වන අපරාධ රැසක් නිරෝධායන ඇදිරි නීති කාලසීමාවේදී සිදුව ඇති බවද පොළොන්නරුව වනජීවී වැටලීම් අංශය පවසයි.මීට අමතරව පුරාවස්තු විනාශ කරමින් නිධන් වස්තු විනාශයන්ද ඉහළ ගොස් ඇති බව පවසන පොළොන්නරුව වැටලීම් ඒකකයේ අඩවි සහකාර කුමාරසිරි විජේකෝන් මහතා, මේ වනවිට දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රීවරයෙකු ඇතුළු නව දෙනෙකුට එරෙහිව වස්ගමුව වනෝද්‍යානයේ සතුන් දඩයම් කිරීම,

පතල් කැණීම් කිරීමේ වරදට නඩු පවරා තිබෙන බවද සදහන් කළේය.

ඇලහැර අභය භූමි රක්ෂිතයට රිංගා නීතිවිරෝධී මැණික් පතල් කැණීම් කිරීමට ප්‍රදේශවාසීන් යෙදවීමේ චෝදනාව යටතේහිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකුට ඇලහැර මහේස්ත්‍රාත් අධිකරණය මගින් නොතිසි නිකුත් කර තිබෙන බවද කුමාරසිරි විජයකෝන් මහතා පැවසීය.මෙම තත්වය යටතේ පොළාත්තරුව ජාතික වනෝද්‍යානය මෙන්ම සතුන් ආරක්ෂා කිරීමට දිවා රාත්‍රී තම නිලධාරින්ට මෙන්ම වන සත්ත්ව ආරක්ෂක නිලධාරින්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.මේ වනවිට ඇදිරි නීතියට මුවාවී මින්නේරිය ජාතික වනෝද්‍යානයේ අලි පැටවුසොරා ගැනීමේ ජාවාරම්ද යළි ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවද එම වනජීවී නිලධාරීහු පවසති.

(මනම්පිටිය - බිමල් ජයරත්න)