
කොවිඩ් ආසාදිත වී මියගිය පිරිසෙන් සියයට 76 ක් එකම කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් අය බව අලුත්ම සංඛ්‍යා ලේඛනවලින් හෙළි වී ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය. කොවිඩ් ආසාදිතව මියගිය පිරිසෙන් සියයට 18ක් එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබා ගත් අය බවත් සියයට 6ක් එන්නත් මාත්‍රා දෙකම ගත්ත ද විවිධ සංකූලතාවලින් සහ බෝ නොවන රෝගවලින් පෙළුණු අය බවත් හෙතෙම සඳහන් කළේය. මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව එකොළොස් දහස් පන්සිය හැට හතකි. මේ අනුව කොවිඩ් මර්දන එන්නත නොපමාව ලබා ගැනීමට යුහුසුළු වන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේය.
මේ අතර කොවිඩ් ආසාදිතව මියගිය 2829 දෙනකු මඩකළපුව ඔට්ටමාවඩි පොදු සුසාන භූමියේදී 15 දා වන විට භූමිදානය කර ඇතැයි වෛද්‍යවරයා පැවැසුවේය. මින් වැඩි පිරිසක් මුස්ලිම් ජාතිකයෝ වෙති. එම සංඛ්‍යාව 2527කි. මෙයට අමතරව හින්දු ජාතිකයන් 160 දෙනකු ද, කතෝලික 53 දෙනෙකුද, බෞද්ධ 89 දෙනකුද එහි භූමිදානය කර ඇති බව හදානි මහතා පැවැසීය. ඔට්ටමාවඩි සුසාන භූමියේදී භූමිදානය කර ඇති වැඩි පිරිසක් පිරිමි අය වෙති. එම සංඛ්‍යාව 1688කි. මීට අමතරව කොවිඩ් ආසාදිත මියගොස් ඇති කාන්තාවන් 1141 දෙනෙකුද එහි මිහිදන් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
-සුජිත් හේවාජුලිගේ--
Comments
Post a Comment
Your comment will be visible after approval