කුරුණෑගල මහ රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කළ වෛද්‍ය සුදත් බණ්ඩාර (57) මහතා පෙරේදා ජීවිතක්ෂයට පත්විය.දින 10 ක් තිස්සේ කෝවිඩ් -19 ආසාදිත වී  එම රෝහලේම ප‍්‍රතිකාර ලබමින් සිටි ඔහු විශේෂයෙන් බාහිර රෝගී අංශයට කොරෝනා ලක්ෂණ සහිතව පැමිණි අය නිරන්තරයෙන් පරීක්ෂාවෙන් සිටියේය.


පසුගිය දිනවල එන්නත් වැඩසටහන් සඳහාද සක්‍රීයව දායකවූ ඔහු ඉතා කැපවීමෙන් එම කටයුතු වල නිරතව සිටියදී ඔහුටද කොරෝනා වැළඳීම අභාග්‍යයකි.



වසර 20ක පමණ කාලයක් කුරුණෑගල මහ රෝහලේ සේවය කළ වෛද්‍ය සුදත් බණ්ඩාර බොහෝ අය හඳුන්වා තිබුනේ ‘හිත හොඳ දොස්තර ‘ ලෙසිනි. ඉතා කාරුණික කථාබහක් හා ඕනෑම ලෙඩෙකුට ඇහුම්කන්දී අවශ්‍ය දේ ලබාදෙන නිහතමානී බවක් ඔහු තුළ තිබුණි.

කුරුණෑගල වැවරවුමේ පදිංචිව සිටි වෛද්‍ය සුදත් බණ්ඩාර මහතාගේ බිරිය හදිසි ප‍්‍රතිකාර ඒකකයේ නිර්වින්දන වෛද්‍යවරියෙකි.
ඔවුන්ගේ එකම පුතුද වෛද්‍ය සිසුවෙකු ලෙස අධයාපනය ලබමින් සිටින්නෙකි.
 රෝග විනිශ්චයේදී අති දක්ෂ වෛද්‍යවරයෙකු වූවාසේම ඔහු වෙනත් පැතිවලින්ද දක්ෂයෙකු විය. කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි සිසුවෙකුවූ ඔහු පාසල් කාලයේ සිටම චිත්‍ර ශිල්පයට නැඹුරුවූ අයෙකි. ඔහුගේ නිවසේ ඔහු ඇඳ තිබෙන සිතුවම් කැන්වස් තිර ගොඩ ගසා තිබේ. ඒවායේ විශිෂ්ටත්වය ඇතැම් ප්‍රදර්ශනවලදීද ඇගයුමට ලක්ව ඇත.
එසේම ඔහු පාසලේ සාහිත්‍ය සංගමයේ කැපී පෙනෙන දක්ෂතා දැවූ සිසුවෙකු වූ අතර පසුකාලීනව වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් විවිධ ලිපි ලිවීම ග්‍රන්ථ පළ කිරීම ඔහු අතින්ම සිදු කළේය. පරිවර්තන පොත්ද ඔහු රචනා කර තිබේ.ස්පාටකස් ග්‍රන්ථ පරිවර්තනය ඔහු කළ එකකි




 වෛද්‍ය සුදත් බණ්ඩාර මහතාගේ අවසන් කටයුතු පසුගිය 19 දින කුරුණෑගල නගර සභා ආදාහනාගාරයේදී සිදුවිය.
(Gossiplankanews.com)