The-Covid-epidemic-is-the-result-of-human-selfishness---Cardinal

කෝවිඩ්-19 වසංගතය මනුෂ්‍යයාගේ ආත්මාර්ථකාමීත්වයේ ප්‍රතිඵලයක් ලෙස ව්‍යාප්ත වී තිබෙන බවත්, එමෙන්ම මෙම වසංගතය ආත්මාර්ථකාමීත්වය පිළිබිඹු කරන බල අරගලය මැද ලෝක බලවතුන්ගේ සහභාගිත්වයෙන් නිෂ්පාදනය කරන ලද දෙයක් බවට ලෝකය පිළිගනිමින් පවතින බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ. 
කාදිනල් හිමියෝ මෙසේ කීහ.

“කෝවිඩ් වසංගතය ඉතාමත් දුක්බර විය යුතු අත්දැකීමක් බවට පත්වෙලා තිබෙන්නේ එය මනුෂ්‍යයාගේ ආත්මාර්ථකාමීත්වයේ ප්‍රතිඵලයක් ලෙස බව මම කියන්නට ඕන. කෝවිඩ් වසංගතය කියන්නේ ලෝකය පාලනය කරන්නට විවිධ බලවේග දරන උත්සාහය වගේම ආගමික ප්‍රතිපත්ති විහිළුවට ලක් කරලා, ආගම ජීවිතයෙන් ඈත් කරවලා මිනිසුන්ගේ ජීවිත, කෑම බීම, ඇඳුම් පැලඳුම් සහ බාහිර ආටෝපයද,

තමන්ගේ ඉන්ද්‍රියන් පිනවීමේ චේතනාවද මුදුන්පත් කරගෙන දෙවියන් වහන්සේ කෙනෙක් නැති, ආගමක් ධර්මයන් නැති ශිලාචාරකමක්  නැති සමාජයක් බිහි කරන්නට ලෝකයේ විවිධ වූ රටවල ජනතාව අරගෙන තිබෙන ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයන් විය හැකියි මේ  කෝවිඩ් වසංගතය. මෙය ආත්මාර්ථකාමීත්වය පිළිබිඹු කරන බල අරගලය මැද්දේ යම් ආකාරයක බලවත් අයගේ සහභාගිත්වයෙන් විශේෂාකාරයේ නවීන විද්‍යාත්මක පර්යේෂණ පවත්වන විද්‍යාගාරයක නිෂ්පාදනය කරන ලද දෙයක් ලෙස දැන් පිළිගනිමින් පවතිනවා.


එහෙම නම් මේ ආත්මාර්ථකාමී ක්‍රියාදාමයට,  දෙවියන් වහන්සේන්ගේ නීතියට විරුද්ධව යමින් ආත්මාර්ථකාමීත්වය මුදුන් පමුණුවා ගන්නට, ලෝක ජනගහනය දුර්වල කරන්නට, ජනගහනය ආත්මාර්ථකාමී ලෙස පාලනය කරන්නට  ඇතැම් බලගතු සංවිධාන කටයුතු කළ බවට දැන් කරුණු හෙළිදරව් වෙමින් පවතිනවා. මේ සිදු වුණ ව්‍යසනය මනුෂ්‍යයාගේ ආත්මාර්ථකාමීත්වයෙන් ආපු දෙයක් නිසා ආත්මාර්ථකාමීත්වය ප්‍රතික්ෂේප කිරීම ඔබ සැමගේ යුතුකමක් වෙනවා”