Somehow-it-was-said-that-he-would-bring-the-gold-medal-to-Sri-Lanka---Dineh-wife-and-son

“මගේ මහත්තයා රන් පදක්කමක් දිනලා රටට ගෞරවය ගෙනාවා කියලා ඇහෙනකොට මට දැනුණේ මහ පුදුම සතුටක්. ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසිකිරීම් තරගයට යනකොට මහත්තයා කියලමයි ගියේ රන් පදක්කම දිනනවා කියලා” යැයි ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේ එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනාගත් ඉපලෝගම කාගම 5 ඇළ ප්‍රදේශයේ පදිංචි දිනේෂ් ප්‍රියශාන්ත මහතාගේ බිරිය වන ඉසංකා මධුවන්ති මහත්මිය පැවැසුවාය. 

දිනේෂ් ප්‍රියශාන්ත මහතා ජපානයේ ටෝකියෝ නුවර පැරාලිම්පික් තරගාවලියට සහභාගි වෙමින් එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමෙන් පසු සිය සැමියා පිළිබඳව කතා කරමින් මධුවන්ති මහත්මිය එසේ කීවාය. හෙල්ල විසිකිරිමේ තරග ඉසවෙන් නව ලෝක වාර්තාවක් ද දිනේෂ් ප්‍රියශාන්ත විසින් පිහිටුවා තිබේ.

ඒ, මීටර් 67.79ක් දුරට හෙල්ල විසිකිරීමෙන් සිය දක්ෂතාව පෙන්නුම් කරමිනි. රන් පදක්කලාහී දිනේෂ් කලක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කර ඇති අතර, එහිදී දිනේෂ්ගේ අතට සිදුව ඇති වෙඩි වැදීමකින් ඔහු ආබාධිත තත්වයට පත්ව ඇත. එයින් අධෛර්යයට පත් නොවූ දිනේෂ් සිය ක්‍රීඩා කුසලතාවන් ප්‍රගුණ කරමින් දිරියෙන් කටයුතු කරමින් මෙම ස්ථානය ලබාගැනීමට කටයුතු කර තිබේ.  විවාහකයකු වන දිනේෂ් තිදරු පියෙකි.

දිනේෂ් ලද ජාත්‍යන්තර ජයග්‍රහණයක් සමග දිනේෂ්ගේ ආදරණීය බිරිය ඉසංකා මධුවන්ති සිය සැමියාගේ දක්ෂතාව පිළිබඳ මෙසේ ද කීවාය.

“ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේ  හෙල්ල විසිකිරීමේ තරගයට යනකොට මහත්තයා කියලමයි ගියේ රන් පදක්කම දිනනවා කියලා. එයා ඒක හරිම විශ්වාසයෙන් කිව්වා. අපි හැමෝගෙම ආශිර්වාදයත් ඒකට තිබුණා.
 එයා දරුවන්ටත් කිව්වේ හැම වෙලාවෙම අධිෂ්ඨානයෙන් කටයුතු කරන, එතකොට කවදාවත් පරදින්නේ නෑ කියලා. ඉතින් එයා ඒ ආදර්ශය අද දරුවන්ට දුන්නා.
මගේ මහත්තයා අද අපේ දුෂ්කර ගම, රට ලෝකයේ ඔසවා තැබුවා. ඒ ගැන මට හරිම ආඩම්බරයි. දරුවන්ටත් එහෙමයි. දිනේෂ් පුංචි කාලේ ඉඳලාම බොහොම දුක් විඳපු කෙනෙක්. එයා සාමාන්‍යයෙන් ඉලක්කයක් අරමුණක් තිබුණාම ඒ ඉලක්කයට අරමුණට යනවාමයි. දිනේෂ් දිනේෂ්ගේ පුංචි කාලේ ඉඳලාම ක්‍රීඩාවට දක්ෂයි.දිනේෂ් යුද හමුදාවේ වසර ගණනක් සේවය කළා. රට බේර ගන්න එහෙම යුද්ධයේ යෙදිලා ඉද්දි තමයි දිනේෂ්ගේ අතට වෙඩි වදින්නේ ..



වෙඩි වැදිලත් එයා කිල්ලෝමීටර් ගානක් තනියම ඇවිත් තියෙනවා. ඒ අතින් එයාගේ හිත හරි ශක්තිමත්. එයා ලබපු මේ ජයග්‍රහණය රටට ආඩම්බරයක්.”දිනේෂ්ගේ වැඩිමහල් පුතා සෙනෙද දෙනුවන් සිය පියාගේ ජයග්‍රහණය ගැන කිව්වේ මෙවන් දෙයකි.

“මගේ තාත්තා ඔලිම්පික් යන්න කලින් අපිට කියලා ගියේ කොහොම හරි රන් පදක්කමක් ගේනවා කියලා. ඉතින් අපිත් ඒ ගැන ගොඩක් සතුටු වුණා. මගේ තාත්තා අද මගේ රට ලෝකයේ බැබළුවා. ඒ ගැන අපේ පවුලේ අයට තියෙන්නේ පුදුම සතුටක්. කාලයක් තාත්තා හමුදාවේ හිටියා. ඊට පස්සේ තමා තාත්තාට වෙඩි වැදිලා ආබාධිත වුණේ. මමත් ලොකු වෙලා තාත්තා වගේම රට ලෝකයේ බබළවනවා.”

(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)