දිවයින පුරා රාජකාරි කරන ග්‍රාම නිලධාරින් පන්සීයකට අධික පිරිසක් කෝවිඩ් ආසාදිතයන් බවට පත්ව ඇති බවත් තවත් ග්‍රාම නිලධාරීන් පස්දෙනෙකු කෝවිඩ් ආසාදිත වීමෙන් මීය ගොස් ඇති බවත් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එස්.ඒ. සීලමන්ආරච්චි මහතා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙත ලිපියක් මගින් දන්වා තිබේ. 

ග්‍රාම නිලධාරිවරයෙකු එම පවුලේ සාමාජිකයන් සමග නිරෝධායනයට ලක්වුවහොත් පොදුවේ හිමිවීමට නියමිතව තිබූ රුපියල් 10000ක වියළි ආහාර සලාක බඩු මල්ල ඔවුනට තිබූ එකම සහනය වුවද එය අඩු ආදායම්ලාභී පවුල් සඳහා පමණක් ලබාදීම හේතුවෙන් ග්‍රාම නිලධාරීන්ද දැඩි පීඩාවට පත්ව ඇති බවද එම ලිපියෙන් පෙන්වා දී ඇත.

දැඩි අවදානම් තත්වය හමුවේ දැඩි ආර්ථික අපහසුතා මැද රාජකාරි ඉටු කිරීම හේතුවෙන් රෝග අවදානමට ලක්වන ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් අමාත්‍යාංශ මට්ටමින් සහනයක් ලබා දීමට කටයුතු කරන ලෙසට යෝජනාවක්ද අදාළ ලිපියේ සඳහන් කර තිබේ.


කෝවිඩ් වසංගතය ආරම්භයේ සිටම අවම පහසුකම් හෝ භුක්ති නොවිද තම වැටුපෙන් සෞඛ්‍යාරක්ෂාව සලසා ගනිමින් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නගමින් බිම්මට්ටමේ වැඩ කටයුතු හරියාකාරව කරමින් ප්‍රාදේශීය පරිපාලනය සක්‍රීයව පවත්වාගෙන යෑමට උරදී කටයුතු කරන ග්‍රාම නිලධාරින්ට අවදානම් දීමනාවක් ඉල්ලා ඇතත් එය මෙතෙක් ඉටු වී නොමැති බවත් මෙම භයානක වසංගත තත්ත්වයතුළ එදා මෙදා තුර දැඩි අවදානම් ලෙස සිය රාජකාරී ඉටු කරන ග්‍රාම නිලධාරීන්ට අවදානම් දීමනාවක් ලබා දීමට කඩිනමින් කටයුතු කරන ලෙසට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එස්.ඒ. සීලමන් ආරච්චි මහතා එම ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත.

(ටෝනි කරුණානායක)