අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ සිදු කළ සංචාරයේදී ඔහු සහ විදේශ ඇමති ජීඑල් පීරිස් ඊයේ බොලොඤ්ඤා හි පැවැති ජී 20 අන්තර් ආගමික සංසදයේ සැසියක් සඳහා සහභාගී වූයේය.
 ‘ජී 20‘ සමුළුවට අයත් රටවල් අතරට ශ්‍රී ලංකාව අයත් නොවේ. ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, කැනඩාව, චීනය, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉතාලිය, ජපානය, කොරියානු ජනරජය, මෙක්සිකෝව, රුසියාව, සෞදි අරාබිය හා දකුණු අප්‍රිකාව ඊට අයත්වේ.


එකී සමුළුව පවත්වන්නට පෙර එම සමුළුවේ කතාබහට නියමිත කරුණු ‘ෆෝරම්‘ ආකාරයට සාකච්ඡා පවත්වන අතර එකී සමුළුව පවත්වද්දී මෙම ෆොරම වලින් පැනනැගි  මාතෘකා සපයාගනු ලබයි.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එක්වූයේ ‘ආගමික ෆෝරමයට‘වන අතර අගමැති මාධ්‍ය ඒකකය නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයෙන් පැවසෙන්නේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජී 20 අන්තර් ආගමික සංසදය  ආමන්ත්‍රණය කළ බවයි.

මේ අතර ඉතාලියේ මහින්ද රජපක්ෂ මහතා ඇතුළු 17 දෙනා රැඳී සිටින හෝටලය ආසන්නයේ මීටර් 200ක් දුරින් ඔහුගේ අවධානය ලබාගැනීමට  විරෝධතාවයක් පවත්වන්නට යෙදුනේ පාස්කු සංසිද්ධියේ වින්දිතයින් වෙනුවෙනි. මේ සඳහා 30 දෙනෙකු පමණ පිරිසක් එක්වූ බව වාර්තා වූ අතර ඉතා සාමකාමී මුහුණවරකින් ඔවුන් එම විරෝධය පවත්වන ලදි.



පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කරන ලෙසත්, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හෙළි කරන ලෙසටත් ශ්‍රී ලංකා රජයට බල කරන බව ඉතාලියේ, බොලොඥ්ඥා නගරයේ අගෝස්තො චතුරශ්‍රයේදී පැවැත්වූ විරොධතාවයේදී කරුණු මතුකරන ලදි.
මේ සඳහා කතෝලික පියතුමන්ලා ඇතුළු විවිධ නගරවල ජීවත්වන ලාංකිකයන් පිරිසක් එක්ව සිටි අතර, කළුකොඩි, විවිධ සටන් පාඨ, ඉල්ලීම් පුවරු නිරූපණය කරමින් මෙම විරෝධතාව පැවැත්විණි.