යුරෝපීය රටක් වන ඩෙන්මාර්කයට අයත් ෆාරෝ දූපත් වල ඩොල්ෆින් මසුන් දඩයම් කිරීමේ සාම්ප්‍රදායික පුරුද්දක් පවතින අතර ඒ අනුව යමින් පසුගිය 12 වනදා අසාමාන්‍ය ලෙස ඩොල්ෆින් මසුන් 1423 ක් ඝාතනය කර ගොඩබිමට උන් රැගෙන ඒමේ සිදුවීමක් වාර්තාවේ. උතුරු අත්ලාන්තික් සාගර කලාපයේ ඩොල්ෆින් මසුන් විශාල වශයෙන් ජීවත්වන අයිස්ටූරෝයි හි ස්කලාබොට්නූර් මුහුදු වෙරළාසන්නයේදී ඔවුන් පිහි වලින් ඇන මෙලෙස ඝාතනය කර තිබේ.


මත්ස්‍ය මළ සිරුරු ගොඩබිමට ගෙනැවිත් ප්‍රදේශවාසීන්ට බෙදා හැරීම සඳහා ගොඩගසා තිබුණි.
දඩයම් කිරීමේ දර්ශන වල දැක්වෙන්නේ මුහුදු වෙරළේ සිට සිය ගණනක් මිනිසුන් බලා සිටියදී ඩොල්ෆින් මත්ස්‍යයින් මරන්නේ මුහුදු වතුර ලේ වලින් රතු ගන්වමින් බවයි.


සාමාන්‍යයෙන් තල්මසුන් මුල්කරගෙන මුහුදු ක්ෂීරපායින් දඩයම් කිරීම  - ෆාරෝ දූපත් වල වසර සිය ගණනක් තිස්සේ පැවති සම්ප්‍රදායකි.
ෆාරෝස් රජය පවසන්නේ සෑම වසරකම ඔවුන් නියමු තල්මසුන් 600 ක් පමණ අල්ලා ගන්නා බවයි. සුදු පැති සහිත ඩොල්ෆින් මසුන් 2020 දී 35 ක් සහ 2019 දී 10 ක් වැනි අඩු සංඛ්‍යාවක් හසුකරගෙන ඇති නමුත් මෙවර මෙතරම් විශාල ප්‍රමාණයක් දඩයම් කිරීම ගැටලු මතකර තිබෙයි.
දූපත් වැසියන් පවසන්නේ තල්මසුන් දඩයම් කිරීම සොබාදහමෙන් ආහාර එකතු කිරීමේ තිරසාර ක්‍රමයක් සහ ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවයේ වැදගත් අංගයක් බවයි. මෙම ඝාතනය ඉතා කුරිරු හා අනවශ්‍ය යැයි සලකමින් සත්ව හිමිකම් ක්‍රියාකාරීන් බොහෝ කලක සිට විරෝධතා පළ කර තිබුණි.
ඩෙන්මාර්කයේ ස්වයං පාලන ප්‍රදේශයක් වන ෆාරෝ දූපතේ එක් දිනකදී මියගිය වැඩිම ඩොල්ෆින් මසුන් සංඛ්‍යාව මෙය බව වාර්තා කර තිබේ. මෙම දඩයම ගැන සත්ව හිංසන විරෝධී සංවිධාන මේ වනවිට විශාල හඩක් නගමින් සිටී.
( බීබීසී ඇසුරිනි gossiplankanews.com )