ඊයේ ලෝක ප්‍රවෘත්ති සිරස්තල අතරට ගිය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර නිව්ලීන් සුපිරි වෙළෙඳ සැලේදී පුද්ගලයන් හත්දෙනෙකුට පිහි පහර එල්ල කරන ලද සිද්ධියට සම්බන්ධ වැඩිදුර තොරතුරු මේවනවිට අනාවරණයවේ. 
අසාමාන්‍ය හැසිරීමෙන් පසු ආරක්ෂක අංශ මගින් ඝාතනයවූ මෙම පුද්ගලයා අයි එස් ත්‍රස්ත සංවිධානයට අයත් අන්තවාදියෙකු බවට හා හුදෙකලාව හැසිරුණ ඔහු ශ්‍රී ලංකාවෙන් නවසීලන්තයට මීට වසර 10 කට පෙර සංක්‍රමණයවූ අයෙකු බවට කරුණු පමණක් එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩන් මහත්මිය හෙළිකර තිබුණි.
අධිකරණයේදී වරදකරු තහවුරු කරනතුරු එකී පුද්ගලයාගේ නම හෙළි නොකරන බව නවසීලන්ත මාධ්‍ය දන්වා තිබූ අතර ඔහුගේ ඡායාරූපයක් මුහුණ හඳුනාගත නොහැකි ලෙස ප්‍රසිද්ධ කර තිබුණි.
මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවට සම්බන්ධ අයෙකු බැවින් ඒ ගැන සොයා බැලීමක් රජය කර ඇතිදැයි කළ විමසීමකදී "නවසීලන්ත බලධාරීන් සිද්ධිය පිළිබඳව තවමත් තොරතුරු ලබා නොදෙන හෙයින් සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු අපි බලා සිටිමු" යනුවෙන් විදේශ අමාත්‍යශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සෙනසුරාදා උදෑසන පවසා තිබුණි.



නමුත් ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥ දේශපාලන විශ්ලේෂකයෙකු වන සිංගප්පූරුවේ නන්යාන්ග් තාක්‍ෂණික විශ්ව විද්‍යාලයේ දේශපාලන ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයේ හිටපු ප්‍රධානි මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා මේ ත්‍රස්තවාදියා සම්බන්ධ විස්තරයක් අද දින ඩේලි නිවුස් පුවත්පතට හෙළි කර තිබේ.
ඔහුට ලැබී ඇති තොරතුරු අනුව සාප්පු සංකීර්ණයේ කලබල ඇති කර ඝාතනයට ලක්වූ ත්‍රස්තවාදියා 32 හැවිරිදි අහමඩ් අදිල් මොහොමඩ් සම්සුදීන් නමැත්තෙකි. මියගිය අයගේ ගුරුවරයා තවත් ත්‍රස්ත නායකයෙකු වන සුදේශ් අම්මාන්ය.  බ්‍රිතාන්‍ය රැජිණ ඝාතනය කිරීමේ අයිඑස් සැලසුමක් හෙළිවී 2020 පෙබරවාරි මස බ්‍රිතාන්‍ය පොලිස් ප්‍රහාරයකින් සුදේශ් ද මෙලෙස මියගොස් ඇති බව වාර්තා කර තිබේ.


නවසීලන්තයේදී මියගිය සම්සුදීන් වසර 10 කට පෙර එනම් ඔහුගේ වයස අවුරුදු 22 දී ශිෂ්‍ය වීසා මත ශ්‍රී ලංකාවෙන් නවසීලන්තයට ගොස් තිබේ. 2016 දී ඔහු ෆේස්බුක් හි ත්‍රස්ත ප්‍රහාර සහ ප්‍රචණ්ඩ අන්තවාදයන්ට සහය දැක්වීම ආරම්භ කරන විට ඔහු මුලින්ම එරට පොලිසියේ අවධානයට ලක් විය.

පොලිසිය ඔහු දෙවරක් ප්‍රශ්න කර ඇති නමුත් ඔහු දිගටම අන්තවාදී පෝස්ටු පළ කර ඇති බව හෙළිව ඇත. 2017 දී පොලිසිය ඔක්ලන්ඩ් ගුවන් තොටුපලේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු සිරියාව බලා පිටත්ව ගොස්, ඉස්ලාමීය කැරැලිකරුවන් හා  සම්බන්ධ වීමට යන බවට අනුමාන කළ නිසාය. පොලිස් පරීක්‍ෂණ වලදී ඔහු සතුව පිහියක් සහ තහනම් ප්‍රචාරක ද්‍රව්‍ය තිබී ඇති බව එම අවස්ථාවේ සොයාගෙන ඇති අතර පසුව ඔහු ඇප මත මුදා හැරිණි. 2018 දී ඔහු තවත් පිහියක් මිලදී ගත් අවස්ථාවක  ඉස්ලාමීය රාජ්‍ය වීඩියෝ පට දෙකක් සමග පොලිසියට හසුවිය.
මෙම පුද්ගලයා විවිධ අපරාධවලට වරදකරු වීමෙන් සහ ඇප කඩ කිරීම හේතුවෙන් ඊළඟ වසර තුනක කාලයේ සිරගතව සිටියේය.

පසුගිය මැයි මාසයේදී  වීඩියෝ දර්ශන ළඟ තබා ගැනීමේ චෝදනා දෙකක් මත මොහු නවසීලන්ත අධිකරනයේදී වැරදිකරු වූ අතර, එම අවස්ථාවේ අයිඑස් කණ්ඩායම්වල ඡායාරූප සහ කළු ඇඳුම් කොණ්ඩ පැලඳ සිටි පුද්ගලයෙකු අර්ධ ස්වයංක්‍රීය ආයුධයක් අතැතිව සිටින දර්ශන ඔහු සතුවිය.
කෙසේ වෙතත්, එම වීඩියෝ පට නීති විරෝධී ද්‍රව්‍ය ලෙස නීතිය අනුව වර්ගීකරණය කර නොමැත. මහාධිකරණ විනිසුරු සාලි ෆිට්ස්ජෙරල්ඩ් එහි අන්තර්ගතය විස්තර කළේ අරාබි බසින් ගායනා කරන ආගමික ගීතිකා ලෙස ය. දෙවියන් වහන්සේ උදෙසා ඝාතනය කිරීමෙන් යුධ පිටියේදී දිවි පිදූ බව වීඩියෝ පට වල විස්තර කර ඇති බව ඇය පැවසුවාය.
කෙසේ වෙතත් මොහුගේ අසාමාන්‍ය හැසිරීම් ගැන ඇස ගසා සිටීමට පොලිසිය හැමවිට උත්සාහ දැරූ අතර ඊයේ ඕක්ලන්ඩ් සංසිද්ධිය සිදුවූයේ ඔහු සිරෙන් නිදහස්වී මාස කිහිපයක් ඇතුළතය.

සිද්ධිය නිසා පිහි ඇනුම් තුවාල ලද නවසීලන්ත ජාතිකයින් 7 දෙනෙකු සිටින බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ. බරපතල තත්වයේ තිදෙනෙකු සමග හය දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති. එක් අයෙකු තුවාලවලට ප්‍රතිකාර ලබා නිවසට ගොස් ඇත. 29 හැවිරිදි කාන්තාවක තුවාල ලැබූවන් අතර බාලම තැනැත්තිය හා වැඩිමල්ම තැනැත්තා 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
( gossiplankanews.com )

සිද්ධියට අදාළ පෙර වාර්තාව
නවසීලන්ත සුපර් මාර්කට්ටුවක කලහ කළ ශ්‍රී ලාංකික අයි එස් සාමාජිකයා ඝාතනය කෙරේ