BIYAGAMA-INCIDENT

පසුගිය 11 දා රාත‍්‍රි බියගම ගෝනවල පෙලෙන්ගහහේන මංසන්ධියේදී පිහියකින් ඇන ගෙල කපා ඝාතනය කළ මාකොල සිරිමංගල පාර ප‍්‍රදේශයේ යෙහාන් චානුක අල්විස් නමැති තරුණයාගේ අභිරහස් මරණය පිළිබඳ පොලිස් පරීක්ෂණයක් ආරම්භවී තිබේ.


තොරතුරු තාක්ෂණ අංශයේ රැකියාවක් කරමින් නිවසේ සිට පසුගිය කාලයේ වැඩ කළ ඔහු පිටරටක සිට පැමිණි මිතුරෙකු සමග ගමනක් යද්දී එම මිතුරා ඔහුව ඝාතනය කර ඇතැයි ඔහුගේ මව සාක්ෂි දෙමින් පවසා තිබේ.
 ඔහුගේ මව වන ඇනා පින්නවල (53) මහත්මිය මෙසේ කීවාය.
‘ 11 දා රැ 7. 30 ට විතර පුතාගේ රට ඉදලා ආපු ඔය යාළුවා සිරිමංගල පාරේ ගෙදරට ඇවිත් පුතාවත් දාගෙන මෝටර් සයිකලෙන් ගිහින් තියනවා. යාළුවා එක්ක ළගට යනවා ඉක්මනින් එනවා කියලා දුවට කියලා පුතා ගිහින් තියෙන්නේ . ගෝනවල පෙලෙන්ගහහේනෙදී පුතාගේ යාළුවා මගේ පුතාගෙ බෙල්ල කපලා 17 පොලකට පිහියෙන් ඇනලා මරලා දාලා. සහගහන අපරාධයක්. මේ දෙන්නම යාළුවෝ. මොන දේකට මෙහෙම අපරාධයක් කළාද දන්නෙ නැහැ.

පුතාගේ විවාහය ලියාපදිංචි කරලා දවස් හතයි. ඉක්මනින්ම විවාහ උත්සවය අරන් මැදපෙරදිග රටක  රැකියාවකට යන්න අදහස් කරන් වීසා එනකන් එයා හිටියේ. පුතා බැන්ද දුව එක්ක සිරිමංගල පාරේ ගෙදර කුලියට තමයි පදිංචි වෙලා හිටියේ. 12දා උදේ පුතාගෙ වෙඩින් එකේ පොටෝ ෂූට් එකට යන්න යොදාගෙන තිබුනේ.
පුතාගෙ මංගල ඡායාරූප ගන්න යොදාගෙන තිබුණේ ඊට පහුවදා 12 දා උදේ.

ඒකට ඕනෙ ඇදුම් මැදලා තියලා තමයි එයා යාළුවා එක්ක මේ ගමන ගියේ. ඒ යාළුවාම තමා පුතාගෙ බෙල්ල කපලා පිහියෙන් ඇනලා මරල තියෙන්නේ. ‘

මරණයට පත් යෙහාන් චානුක කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වූ අතර ග‍්‍රෑන්ඩ්පාස් ප‍්‍රදේශයේ පුද්ගලික ආයතනයක තොරතුරු තාක්ෂණය පිළිබඳව රැකියාවක් කරමින් සිටියේය. වසංගතය නිසා නිවෙසේ කාලය ගත කළ බවද පැවසිණි.
ඝාතනය සමිබන්ධයෙන් මියගිය අයගේ මිතුරා යයි කියූ අංගොඩ, බටලන්දහේන ප‍්‍රදේශයේ විසිහත් වියැති පුද්ගලයෙකු සපුගස්කන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර දැනට මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අත්අඩංගුවට පත් අය ලබාදෙන කටඋත්තර අනුව වැඩිදුර විස්තර හෙළිවෙතැයි පොලිසිය අපේක්ෂා කරයි