yupun-abeykoon-speaks

තමන් වාර්තා කළ කාලය සම්බන්ධයෙන් සෑහීමට පත් නොවන බවත්, පළමු මීටර තිහේදී තමන් අතින් ලොකු වරදක් වූ බවත් තරගයෙන් අනතුරුව අප වෙත අදහස් දක්වමින් මීටර් 100 තරග ඉසව්වට සහභාගි වූ යුපුන් අබේකෝන් පැවසීය. කෙසේ නමුත් ඔලිම්පික් උළෙලකට සහභාගි වීම තමන් තුළ තිබූ එක් ඉලක්කයක් බවත්, එම අවස්ථාව උදාකර ගැනීම සම්බන්ධයෙන් ආඩම්බර වන බවත් හෙතෙම පැවසීය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ සුපුන්, "තරගය ගැන කනගාටුයි. මේ වගේ ටයිමින් එකක් දුවන්න නෙමෙයි මම ආවේ. තත්පර නවයක රේස් එකක පොඩි හරි අඩුපාඩුවක් වුණත් ඒක අපට හදාගන්න බැහැ. මම ලෑස්ති වෙලා හිටියේ රට වෙනුවෙන් හොඳ දෙයක් කරන්න.

නමුත් අවාසනාවකට මට ඒ දේ කරන්න බැරි වුණා.හැබැයි මම ආඩම්බර වෙනවා මේ අවස්ථාවට එන්න ලැබීම ගැන.

ඔලිම්පික් එන එක මගේ හිතේ තිබුණ ලොකු හීනයක්. ලංකාවේ ගොඩක් අය මම ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා. කෙසේ නමුත් ඔලිම්පික් උළෙලක පදක්කමක් දිනනවා කියන එක අසීරු කටයුත්තක්. මම බලාපොරොත්තුවෙන් හිටියේ මගේ වාර්තාව අලුත් කරනන්න කෙසේ නමුත් පළමු මීටර තිහේදී මගේ අතින් ලොකු වැරැද්දක් වුණා. ඒක මගේ පසුබැසීමට ප්‍රධාන හේතුවක් වුණා.

පුහුණුකරු සමග මගෙන් සිදුවූ අඩුපාඩු ගැන සාකච්ඡා කර, වැරදි හඳුනාගෙන ඉදිරියේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වෙලා හොඳ කාලයක් වාර්තා කරන්න බලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය. සමස්ත දකුණු ආසියාවේම බලාපොරොත්තුවක් වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් මීටර 100 මූලික වටයේ (Heats)තෙවැනි තරගයට පෙර්දා (31දා) රාත්‍රියේ (ජ.වේ.) සහභාගි වූ අතර, එහිදී ඔහුට 06වැනි ස්ථානය හිමි විය. ඒ හේතුවෙන් අවසන් පූර්ව වටයට (අවසන් 24) සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව ඔහුට අහිමි විය. තරගය අවසන් කිරීම සඳහා යුපුන් තත්. 10.32ක කාලයක් වාර්තා කළ අතර, ඔහුට සමස්ත අදියර (අදියර 07) අවසානයේ තරගකරුවන් 61. දෙනෙකු අතරින් 42වැනි ස්ථානය හිමි විය.

කෙසේ නමුත් වත්මන් ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන සුපුන්ගේ පෞද්ගලික හොඳම කාලය තත්. 10.15කි.

ඔලිම්පික් ඉතිහාසයේ මීටර 100 ඉසව්ව නියෝජනය කළ තෙවැනි ශ්‍රී ලාංකිකයා සුපුන් වෙයි. ශ්‍රියන්ත දිසානායක ඔලිම්පික් උළෙලක මී. 100 ඉසව්ව නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා වන අතර, ඒ 1992 බාසිලෝනා (ස්පාඤ්ඤය) ඔලිම්පික් උළෙලට විය. කෙසේ නමුත් මූලික වටයේ (Heat 4) ඔහුට හිමි වූයේ 05වැනි ස්ථානයයි. ඉන්පසුව චිතක ද සොයිසා 1996 ඇට්ලැන්ටා ඇමරිකාව ඔලිම්පික් උළෙලට සහභාගි වූ අතර, ඔහුටද මූලික වටයේදී (Heat 1) හිමි වූයේ පස්වැනි ස්ථානයයි. කෙසේ නමුත් මෙවර ඔලිම්පික් උළෙලේ සමස්ත දකුණු ආසියානු කලාපයෙන්ම මීටර100 ඉසව්වට ක්‍රීඩා කළ එකම ධාවකයා වූයේ යුපුන් අබේකෝන්ය.

(සංජීව ධර්මසේන) -