නිදන ඇඳක මෙට්ටයක් යට සිටි නයි පැටවුන් 30 දෙනෙකු මාවතගමට දෙගොල්ලවත්ත ප්‍රදේශයේ නිවෙසකින් සොයාගෙන ඇත. නිවැසියන් විසින් කරනු ලැබූ දැනුම් දීමකට අනුව පරිසරවේදියකු වන කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කරන කැලුම් සෝමරත්න මහතා ඊයේ (14 වැනිදා) එම නිවෙසට ගොස් කරන ලද සොයා  බැලීමකින් පසුව මෙම නයි පැටවුන් 30 දෙනා සොයා ගැනීමට හැකිවී තිබේ.  මෙම සිද්ධියේ විශේෂත්වය වන්නේ නිවෙස් හිමියාගේ බිරිය සහ දරුවන් නිදා සිටියදීම එම ඇදේ මෙට්ටය යට මෙම නයි පැටවුන් 30 දෙනා ද දින ගණනාවක්ම සිට තිබීමය. 




ඊට පෙර දිනයේ නිවෙස තුළ සිටිය දී ප්‍රථමයෙන්ම නයි පැටවුන් දෙදෙනකු හමුව ඇති අතර නිවෙස් හිමියා බියට පත්ව එම සතුන් දෙදෙනාට පහර දී මරා දමා ඇත.  ඉන් පසු දින රාත්‍රියේ ඇඳට දමා තිබූ මදුරු දැලෙන් ඇතුළු වූ තවත් නයි පැටවකු ඇදේ නිදා සිටි අයකුගේ සිරුර මතින් ගමන් කර ඇති අතර ඉන් මහත් සේ බියට පත් ඔවුන් පසුව සැකයට මෙන් ඇඳ පරීක්ෂක්ෂා කර බලද්දී  ඇඳට දමා තිබෙන ලෑල්ලක් සහ මෙට්ටයත් අතර  කොටසේ පොදියක් මෙන් සිටින නයි පැටවුන් දැක ඇත. ඔවුන් ඒ බව පරිසරවේදියකු වන කැලුම් සෝමරත්න මහතාට දැනුම් දීමෙන් පසුව ඔහු පැමිණ නිවෙස පරික්ෂා කර බලා ඇදේ මෙට්ටය යට සිටි නයි පැටවුන් ආරක්ෂිතව ඉවත් කර ඇත.


නිවෙස දැඩි පරික්ෂාවකට ලක් කළ ද වෙනත් නයි පැටවුන් හෝ මවු සතා හෝ පැටවුන් බිහි වූ බිත්තරවල කටු පවා හමු නොවූ නමුත් පැරණි නිවෙසක් වන එහි කොටසක ඇති බෙනයක් වැනි ස්ථානයකින් මවු සතාගේ බවට සැක කරන හැවක් සොයා ගැනීමට හැකි වූ බව ද සෝමරත්න මහතා සඳහන් කළේය.

සාමාන්‍යයෙන් හැපින්නක වරක දී බිත්තර 5 - 45 ත් අතර සංඛ්‍යාවක් දමන බව ද මේ අනුව නොබෝ දිනකින්ම තමන් බිහි කළ පැටවුන් සොයා එම හැපින්න මෙම නිවසට පැමිණිය හැකි බව ද සෝමරත්න මහතා පෙන්වා දුන්නේය.  මෙපමණ විශාල නයි පැටවුන් සංඛ්‍යාවක් සිටිය ද උන් කිසිවෙකුගෙන් හෝ නිවැසියන්ට හානියක් සිදු නොවීම වාසනාවට කරුණක් බව පවසන  සෝමරත්න මහතා මෙතරම් විශාල නයි  පැටවුන් සංඛ්‍යාවක් නිවැසියන් නොපෙනී ඔවුන් නිදන ඇදේ මෙට්ටය යටට පැමිණීම පුදුමයට කරුණක් බව ද හෙතෙම පැවසීය.


තම වෘත්තියෙහි නිරත වන ගමන්ම නාගයන් ඇතුළු විසකුරු සර්පයන් ඇල්ලීම විනෝදාංශයක් වශයෙන් සිදු කරගෙන යන සෝමරත්න මහතා මේවනවිට මේ  ආකාරයට නයින් සහ සර්පයින් විශාල සංඛ්‍යාවක් අල්ලා පරිසරයට මුදාහැර ඇති පරිසරවේදියෙකි. මෙම නයි පැටවුන් ද ආරක්ෂාකාරීව වනාන්තරයකට මුදා හරින බව ද පැවසීය.


 -පුෂ්පකුමාර ජයරත්න-