
‘රස්තියාදු පදනම' නමින් යුටියුබ් නාලිකාවක් අරඹා, අසභ්‍ය වචන යොදා ගීත ප්‍රචාරය කළ, එම නාලිකාවේ පරිපාලකයන් ලෙස කටයුතු කළ බව කියන තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. එසේ ප්‍රචාරය කරන ලද ගීත අතර තිබෙන "කාට කාටත්” නමැති ගීතයට අනුග්‍රහය දක්වා ඇත්තේ ඩුබායි රටේ දී මියගිය සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වූ කෙසෙල්වත්තේ දිනුක නමැත්තා බව සැකකරුවන්ගේ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.
අසභ්‍ය වචන යොදා සකස් කළ ගීත අටක් සැකකරුවන් විසින් වසර ගණනාවක් තිස්සේ ප්‍රචාරය කරනු ලැබ ඇතැයි ද පොලිසිය කියයි.
අසභ්‍ය වචන අඩංගු ගීත 'රස්තියාදු පදනම' නමින් විකාශනය වන නාලිකාවක ප්‍රචාරය වන බවට, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා යටතේ තිබෙන බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකාර තිදෙනා අත්අඩංගුවට ගනු ලැබ ඇත. නැව් සමාගමක සේවය කරන්නකු, විදේශීය රටක හෝටලයක සේවය කරන්නකු සහ ව්‍යාපාරිකයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි .
අවුරුදු 27ත් 31ත් අතර වයසේ පසුවන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනවල, කටාන හා පිළියන්දල ප්‍රදේශවලිනි. සැකකරුවෝ අධිකරණයට අද (12 වැනිදා) ඉදිරිපත් කිරිමට නියමිතව සිටියහ.
- බිමල් ශ්‍යාමන් ජයසිංහ -
Comments
Post a Comment
Your comment will be visible after approval