president-advisers

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින සහ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලීම, නිදහස් කිරීම සහ ඇප ලබාදීම ඇතුළු තීරණ සම්බන්ධයෙන් තමාට නිරදේශ සහ උපදෙස් ලබා ගැනීම සඳහා උපදේශක මණ්ඩලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ සිටී. හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම උපදේශක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තූඩුව සහ විශ්‍රාමලත් සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් යන මහත්වරු පත්කරනු ලැබ සිටිති. 

ජනාධිපතිවරයා මෙම උපදේශක මණ්ඩලය පත් කර ඇත්තේ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 13 වැනි වගන්තිය අනුවය. මෙවැනි උපදේශක මණ්ඩලයක් කාලයක් තිස්සේ පත් නොකර තිබීම නිසා තම අයිතිවාසිකම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරිමට ත්‍රස්තවාදි ක්‍රියා සම්බන්ධයෙන් සිරගතව සිටින පිරිස්වලට අවස්ථාවක් නොලැබුණු බව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණදීර මහතා පැවසීය. මෙම උපදේශක මණ්ඩලය පත් කිරීමත් සමග එම සිරකරුවන්ට ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.


(සුජිත් හේවාජුලිගේ)