සාත්තර කියන කාන්තාවක රවටාගෙන හෝටල් කාමරයකට බලහත්කාරයෙන් රැගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන ගුරුකම් කරන කට්ටඩියකු පෙරේදා (24) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසියේ කොට්ඨාස හා ළමා කාන්තා කාර්යාංශය පවසයි.





 අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 32 හැවිරිදි වියේ පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි විවාහකයෙකි. මොහු පුද පූජා පැවැත්වීම සඳහා හික්කඩුව සීනිගම දේවාලයට පැමිණෙන අයෙකි. අතවරයට ලක්වූ සාත්තරකාරිය සීනිගම දේවාලයට පුද පූජා පැවැත්වීම සදහා පැමිණ ඇත.

ඇය 30 හැවිරිදි වියේ පසුවන දෙදරු මවකි. දේවාලයට පැමිණි දිනයකදී සාත්තරකාරිය ගුරුන්නාන්සේගේ මෝටර් රථය අසලට ගොස් ඇත. එහිදී සැකකරු ඇයට බීම වීදුරුවක් ලබාදී ඇත. පසුව ඇය සිහිසුන්ව ඇති අතර සිහිය ලැබෙන විට ඇය පාළු නිවෙසක සිට ඇත. ඇය ත්‍රිරෝද රථයකින් යළි නිවෙසට පැමිණ තිබේ. මෙම දින 10කට පමණ පසු ගුරුන්නාසේ සාත්තරකාරියට දුරකථනයෙන් කතාකොට වට්ස්ඇප් අංකයක් ඉල්ලාගෙන ඇත.

පසුව මැඩගේ සෙල්ලම් පෙන්වන්නම් කියා නිරුවත් සාත්තරකාරියගේ ඡායාරූප පෙන්වා ඇති අතර දැන් ඉතින් මන් කියන විදියට වැඩ කරන ලෙස පවසා ඇත. පසුව සැකකරු විසින් ඇයට තර්ජනය කොට බිය වද්දා මෙකී සාත්තරකාරිය තම ගුරුකම් සඳහා ප්‍රචාරක කටයුතු සඳහා යොදාගෙන ඇත.



මෙම ගුරුන්නාන්සේගෙන් ගුරුකම් කරවාගෙන ප්‍රතිකාර ගත් නිසා තමන්ට දැන් දරුවකු ලැබෙන්නට සිටින බවට සාත්තරකාරිය ලවා කියවාගෙන සැකකරු විසින් වීඩියෝ ගත කොට ඇත. තර්ජනය කිරීම් හමුවේ බියට පත් සාත්තරකාරිය සිය උදරයට කොට්ටයක් බැඳගෙන දරුවකු ලැබීමට සිටින අයුරින් සිට තිබේ. මේ අයුරින් සැකකාර ගුරුන්නාසේ තම ගුරුකම්වල ප්‍රචාරක කටයුතු සඳහා මෙකී කාන්තාව යොදාගෙන ඇත. ගාල්ල පොලිසියේ කොට්ඨාස හා ළමා කාන්තා කාර්යාංශයට සාත්තරකාරිය කළ පැමිණිල්ලකට අනුව මෙකී සිද්ධිය පිළිබඳ විමර්ශනය කොට ලිංගික අතවර කිරීම හා පහරදීම බිය ගැන්වීම යන චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

(යක්කල මුල්ල ජේ කේ එල් චාමින්ද)