oxygen-patient

ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් රෝගීන් 593 දෙනකු දිවයින පුරා රෝහල්වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානී මහතා පැවැසීය.   මේ අතර රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ඉන්දියාවෙන් හා සිංගප්පුරුවෙන් ගෙන්වීමට කටයුතු කරගෙන යන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.  ඔක්සිජන් අවශ්‍ය රෝගීන් සංඛ්‍යාව පසුගිය මාසයේ පැවතුණේ 272ක් වශයෙනැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.  රෝහල්වල ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ගණන දිනෙන් දිනම වැඩි වෙමින් ඇති නමුත්, රෝගීන් සඳහා රෝහල්වල ප්‍රමාණවත් ඔක්සිජන් තොග දැනට පවතින බවද  අමාත්‍යාංශය සඳහන් කරයි.




ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ වැඩිවීම බස්නාහිර පළාතේ ප්‍රබලව කැපී පෙනෙන  බව පවසන වෛද්‍ය විශේෂඥයෝ, ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ගණන වැඩිවීමට ප්‍රධාන  හේතුව ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වීම විය හැකි යැයි සැක පළ කරති.  මේ අතර කොළඹ රෝගීන් 1000ක් ගතහොත් ඉන් තුන් සියයක්ම වයිරස ප්‍රභේදය ආසාදනය වූවන් යැයි අනුමාන කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්  මහතා පැවැසීය.

(සුජිත් හේවාජූලීගේ)