kavindya-adikari-speaks

සම්පූර්ණ නම මොකක්ද?


අදිකාරි මුදියන්සේලාගේ කවින්ද්‍යා දේවින්දි අදිකාරි.

නමෙ  කැමතිම කොයි කොටස කියනවටද?

කවි කියන කොටසට..

ලංකාවෙ සංගීතය කොයි වගේද?

සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. ඒක  වෙනස් වෙනවා. එතකොට අපේ අම්මිලාගේ, අපේ සීයලාගේ කාලේ තිබ්බ සංගීතය නෙමෙයි දැන් අපිට හැඟෙන්නේ. සංගීත ඉතින් වෙනස් වෙනාවා සහ සමහර වෙලාවට හොඳ විදියට වෙනස් වෙනවා සමහර දේවල් නරක විදියට වෙනස් වෙනවා. හැබැයි මමත් හැමවෙලේම විශ්වාස කරන්නේ අපිට ප්‍රිය නම් අපි බලන්න ඕන. අපිට ප්‍රිය නැත්නම් අපි නොබල ඉන්න ඕනේ. ඕන කෙනෙක්ට ඕන දෙයක් කරන්න ඉඩ තියෙනවා.

ඕන කුණු ගොඩක් මේකේ දැම්මට කමක් නෑ කියන එකද?

අපි කොහොම කිව්වත් දාන්න ඕන කියල දානවනෙ කරන්න ඕන දේ. අපි කිව්වොත් අපි ඇඩ්වයිස් කරාට කාට හරි අපිට කියන්න පුළුවන් මේ වගේ හොද නිර්මාණ කරන්න කියලා නමුත් ඒ ගොල්ලන්ගේ අතේ තමයි තීරණය තියෙන්නේ ඒගොල්ලො මොනවගේ නිර්මාණ ද කරන්න ඕනි කියලා සහ පබ්ලිශ් කරන එකත් ඒ ගොල්ල ගේ අතේ තියෙන්නෙ. ඉතින් බයින අය ඉන්නව නම් තමන්ට ඇහැට ප්‍රිය නැත්නම් කනට ප්‍රිය නැත්නම් ඒක බලන් නැතුව ඉන්න ඕනේ.



ඔය මල් සින්දු කියන්නේ අඬන සින්දු කියන්නේ මේ ගීතවලට පෞද්ගලිකව කැමතිද?


ඔව් මම කැමති. හේතුව මගේ අම්මා තාත්තා වුණත් පෞද්ගලිකව ඒ ගීත ගායනා කරලා තියෙනවා. අපේ කට්ටිය හදාගත්ත දෙයක්නෙ මල් සින්දු කියලා කියන්නේ. ඒවත් විරහා ගී කියන කොටසට ඇතුල් කරන්න පුළුවන් ඉතින්. සමහර ගීත තියෙනවා ඉතින් අපේ ජීවිතය තියෙනවා  සතුටු වෙන වෙලාවල් තියෙනවා දුක් වෙන වෙලාවල් තියෙනවා එතකොට මම උනත් පෞද්ගලිකවත් සමහර වෙලාවට මට දුක හිතුනොත් එහෙම මම අහන ගීත කොටසක් වෙනම තියෙනවා ඒ වගේ. ඉතින් එහෙම අවස්ථා තියනවා ඒවත් අපි අපිට ආස දේ අහලා හිටියම හරි.


මේ ක්ෂේත්‍රයේ තරහකාරයෝ ඉන්නවද?

නෑ. හැබැයි මාත් එක්ක තරහ ඇති. හැබැයි මම සාමාන්‍යෙන් හිත සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්. මට කාත් එක්කවත් තරහක් නෑ මාත් එක්ක තරහ අය නම් ඕන තරම් ඇති.

ඔබ හිතන්න මොන වගේ දේවල් වලට ඔබට බනිනවා ඇතිද?

පණ්ඩිතයි කියලා අහල තියෙනවා. ආඩම්බරයි කියලත් බනිනව සමහර අය. එතකොට tattoos ගහන එකට බනිනවා අන්න ඒ වගේ පොඩි පොඩි දේවල් වලට බයිනවා ඉතින්..

ඇත්තටම ආඩම්බරයි ද?

නැහැ.

තරුණියක් උනාම ආඩම්බර වෙන්න ඕනෙද?


ඔව් යම්තාක් දුරකට ආඩම්බර වෙන්න ඕනි ඒ දුරට මම ආඩම්බරයි. එතනින් එහාට ඉතින් මගේ යාලුවෝ එක්ක මම එහෙම නැහැ ,මම දන්න කියන අයත් එක්ක මම එහෙම නැහැ. මම චූටි කාලෙ ඉඳන් අම්මි තාත්තයි හැමෝම වගේ අඳුරනවා. ඉතිං ඒ නිසා හැමෝත් එක්කම සුහදව ඉන්න ඕනේ. මම හැමෝටම  ගරු කරනවා. ඒ ඇරෙන්න මම නොදන්නවනම් චුට්ටක් මම කතාබහ කරනවා හරි අඩුයි. හැබැයි අඳුර ගත්තට පස්සේ කතා බහ කළ හොඳට ඉන්නවා.

මේ ටැටූ ගහන එකට ඇයි මිනිස්සු බනින්නේ ලංකාවේ?


අනේ මන්ද ඒගොල්ලොන්ගෙ ඇඟ අරගෙන ගිහිල්ලා ගහනවා වගේ ඒගොල්ලොන්ට. ඒ විතරක් නෙමෙයි අපි ජීවත්වෙන විදිහටත් බනිනවා. අපි අඳින පළඳින එකටත් බනිනවා. අපි නිකං photo එකක් upload කරද්දි අපි ෆිල්ටර් එකක් දාලා අප්ලෝඩ් එකටත් බයිනවා ,අපි lipstick ගෑවත් nail polish ගැවත් බනිනවා. සමහර ගොසිප් සයිට් වල clip හදලා දානවා. ඉස්සර කාලයක් තිබ්බ පොඩ්ඩක් විතර දුක හිතෙනවා. සමහර වෙලාවට එළියට යන්න හරිම දුකයි. නමුත් මම හිතන්නේ කාලයත් එක්ක සහ එක්ස්පීරියන්ස් එකත් එක්ක ජීවිතය උන දේවල් එක ඒවා වැඩිය එහෙම ගණන් ගන්නේ නැහැ දැන්.

මේ විදිහට සතුටින් හිනා වෙලා නේ ඉන්නේ.ඒ  ඉන්න හැම තැනකම ජීවිතය හංගපු දේවල් තියෙනවද මිනිස්සු දැක්කේ නැති?

 අනන්තවත් තියෙනවා.

සාමාන්‍යයෙන් දෙමාපියන් කලාකරුවන් වීම ගැන ඔබ ආඩම්බර වෙනවා ද?


පැති දෙකක් තියනවා. එක අතකින් මං හුඟාක් ආඩම්බර වෙනවා. මොකද හැමෝටම අම්මා තාත්තයි දෙන්නම කලාකරුවන් විදිහට ඉන්නවා හරි කලාතුරකින්  ඒක පිහිටන්නේ. හැබැයි අනිත් පැත්තෙන් මම වෙලාවකට කල්පනා කරනවා මම සාමාන්‍ය කෙල්ලෙක් විදියට හිටියා නම් කියලා. මොකද ගොඩක් දේවල් වලට සීමා මායිම් අපිට තියෙනවා. අපිට කැමති කෙනෙක් එක්ක අපි ආදරේ කරන කෙනා එක්කවත් අපිට කන්න බොන්න එළියට යන්න බැහැ. එහෙම  සීමාවක් තියෙනවා. ඉතින් ඒ ගැන මම ආඩම්බරයි.

වැඩියෙන්ම ආදරේ අම්මාටද තාත්තා ටද?

අම්මාට. මොකද මාව ගොඩක්ම බැලුවෙ අම්මා. තාත්තා ගොඩක් වෙලාවට සංගීතයත් එක්ක යොමු වෙලා හිටියෙ. ඉතින් ඒ නිසා අම්මා තමයි ගොඩක් වෙලාවට මාව බැලුවේ. දෙන්නටම ආදරෙයි.


ජීවිතේ අපි යනකොට අපිට ඇතිවීම් නැතිවීම් අපි හැමෝටම එනවා. ඒක පොදුයි හැමෝටම. ජීවිත යම් දෙයක් නැති වෙලා වැඩියෙන්ම වැටුණේ කවුරු වෙනුවෙන්ද මොන දෙයක් වෙනුවෙන් ද?

මුලින්ම තාත්තා අපිව දාලා ගියාට පස්සේ 2010 එදා තමයි මගේ ජීවිතේ මම කවදාක්වත් එච්චරට අඩලා තිබ්බේ නැහැ. ඒත් අම්මගේ මාර ශක්තියක් තිබ්බේ .අපේ අම්මා ඒ දවස වුනත් ගෙදර ඇවිත් අපිට උනත් මුකුත් කිව්වේ නැහැ.

ඒත් දවස කොහොමද ගෙවුනේ?

ඒක ඇත්තටම මතකත් නැති තරම්. මම ඉස්කෝලේ ගිහිල්ලා එනකොට තාත්තා ගෙදරින් යන්න ලෑස්ති වෙනවා. මම කොහෙවත්ම මේක කියලා නැහැ. එතකොට එදා මම සතුටින් ගෙදර ආපු මොහොතක් හැබැයි ඊට පස්සේ ඉඳන් තනිකර නිකන් මළ ගෙදරක් වගේ ගෙදර. හැබැයි මම ජීවිතය කවදාවත් කාටවත් බ්ලේම් කරන්නේ නෑ. හැමෝටම ඒගොල්ලන්ගෙ ජීවිතයේ හේතු ඇති ඕනම දෙයක් කරන්න. හැබැයි මගේ අම්මා පුදුම ධෛර්යවන්ත කාන්තාවක්. ඒ දෙන්නා වෙන් උනාට පස්සේ වුනත් අපෙ අම්මා ගෙදර ඇවිල්ලා වචනයක්වත් කිව්වෙ නෑ එයා හිර කරගෙන ගිහිල්ලා කාමරයට ගිහිල්ලා කෑගහලා අඩන්න ඇති. ඒත් අපිට පෙන්නුවෙ නැහැ. ඉතින් දැන් පස්සේ තමයි මම ජීවිතේ දරාගන්න පුරුදු වුණේ. ඊට පස්සේ මගේ හොඳම යාළුවෙක් cancer හැදිලා නැති වුනා  ඉස්කෝලේ. ඉතිං ඒ දවස් දෙක තමයි මට එහෙම දුකම හිතුන දවස් දෙක.



ඔබ හිතන්නේ ඔබේ වැටීම් තුළම ද ඔබ ශක්තිමත් උනේ?

ඔව් අනිවාර්යෙන්ම. මගේ ජීවිතේ සහ මගේ පවුලේ ඒ හැම දේමත් එක්ක තමයි මේ වෙනකොට මම බලන විදිහ හැමදේම ගැන බලන විදිහ මාරම වෙනස්.අර බොළඳ අදහස් කියන්නේ ඒවා චුට්ටක්වත් නැහැ දැන් අර හැමදේම සමබරව බලන්න පුරුදු වුණේ මම හිතන්නෙ ඒ හැම කඩඉමක්ම පැනලා ආපු හින්ද තමයි.

අම්මට ගොඩක් ආදරෙයි ද?
ඔව්.

අම්මා ගැන පොඩ්ඩක් කතා කරමු. සමිතා මුදුන්කොටුව මහත්මියට සමහරක් මිනිසුන්ගේ පුංචි ඇඟිල්ලක් දික් වන කාලයක් මේක. හැබැයි ඇය ගැන හරියටම දන්න මනුස්සයා තමයි මේ ඉන්නේ. අපි ඒගැන කතා කරමු.

අම්මා ගැන කිව්වොත් ඒ තරම් ශක්තිමත් කාන්තාවක් මම දැකලා නැහැ. මගේ අත්තම්මා ගැනත් මතක් කරන්න ඕනේ අපේ අම්මගේ අම්මා. එයා නිසා තමයි අම්මා ශක්තිමත් වුනේ. ඉතින් ඒයා නිසා අපි දෙන්නම හොඳටම ශක්තිමත් කාන්තාව විදියට හදල තියෙන්නෙ මගේ මම්මා. ඉතිං අම්ම තමයි 2010 ඉඳන් අර කියන්නේ වටපිටවත් බලන්නේ නැතුව මල්ලියි මායි දිහා බලාගෙනම දිගටම අපි දෙන්නම කොහොම හරි ලස්සනට හැදුවා. ඉතිං එයාගෙ ශක්තිය ඇත්තටම ඒ දරාගැනීම මට එච්චර නැහැ. මට යම්තාක් දුරකට තියෙන්නේ. ඒ දරාගැනීම කවදාක්වත් මට එන්නෙ නැති වෙයි. එයාගෙ ශක්තිය නිසා තමයි මම වැඩිපුරම මෙහෙම උහුලන්න පුරුදු වෙලා තියෙන්නෙ. අම්මා කවදාවත් කිසිම දේකට වැටුන නැහැ. මං මුලින්ම present කරන්න ආපු කාලේ පොඩි ගොසිප් ඒවා මේව හැදුන කාලේ මම ගොඩාක් වැටුණා මම ගෙදරින් එළියට වත් බැස්සෙ නැහැ සමහර දවස් වලට. අම්මා ඒව හරි සාමාන්‍ය විදියට ගත්තේ මොකද ඇයත් මේ ක්ෂේත්‍රයට ආපු කාලේ ඉඳන්ම පත්තරවලින්  හැමතැනම එයාට දොස් කියලා එක එක දේවල් කියලා තිබ්බා. අම්මා තමයි ගොඩක් වෙලාවට හිත හැදුවේ නෑ ඔයා කරන්න කියලා.ඉතිං මල්ලියි මායි අද කවුරුහරි කියනවා නම් හොඳ දරුවෝ විදියට හැදිලා ඉන්නවා කියලා ඉතින් ඇත්තටම ඒ ක්‍රෙඩිට් එක යන්න ඕනේ එයාට සහ එයයි මගේ මම්මටයි.

ආදරේට වයස කොහොමද බලපාන්නේ?

මම හිතන්නේ නෑ ඒක බලපානවා කියලා. මම හිතන්නෙ ලංකාවෙ තමයි ඔය හැමදේටම නීති දාල තියෙන්නෙ වැඩිපුරම. ඒක හරි සාමාන්‍ය දෙයක් ඉතින්. ලංකාවේ සංස්කෘතියක්  එකක් තියනවද කියන එකත් ප්‍රශ්නයක් තියෙනවා සමහර වෙලාවට. සංස්කෘතිකයි කියන අයත් සංස්කෘතිකයි කියලා ප්‍රශ්නයක් තියෙනවා .මොකද ඒගොල්ලන් ඒවා කිව්වට ඒ ගොල්ලන්ම ඊට අනුව ජීවත් වෙනවා නම් කාටවත් ඇඟිල්ලක් දික් කරාට ප්‍රශ්නයක් නැහැ. නමුත් මං විශ්වාස කරන්නේ කෙනෙක් කසාද බැඳලා හොර කෙනෙක් තියන් ඉන්නවට වඩා වයසින් වැඩි හෝ අඩු හෝ තමන්ට  ආදරේ කරන්න පුලුවන් මනුස්සයෙක් ඉන්නවනම් ඒක හරි. අපේ අය සංස්කෘතිකයි කියලා කිව්වට සමහර අය බැඳලා ඉන්නවා ඔය ෆේස්බුක් වල බනින අයත් ගොඩක් එහෙමනේ. සමහර වෙලාවට ඒ ගොල්ලො ජීවිතේ කිසි දෙයක් අර්ථවත් දෙයක් නැහැ ළමයි එක්ක කිසිම බැඳීමක් නැහැ, හස්බන්ඩ් එක කිසිම බැඳීමක් නැහැ. සමිතා මෙහෙමයි සමිතාගේ ළමයි මෙහෙමයි එහෙමයි කිය කිය කමෙන්ට් දදා ඉන්නවා.


දැන් කාලේ ළමයි drugs වලට පුරුදු වෙලා ඉන්නවා. ඒත් ඒවා ගැන හොයන්නේ නැහැ ඒත් අනුන්ගේ ඒවා හොය හොය ඉන්නවා අන්තිමට එරුණාට පස්සේ ඉතින් විඳව විඳව ෆේස්බුකුත් නෑ මුකුත් නැහැ. ඉතිං එහෙම මිනිස්සු ඉන්න සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. එහෙම ගත්තහම ඇත්තටම අපි හරි සතුටින් ඉන්නවා. 100%  සතුටු මිනිස්සු ලෝක නැහැ කොහෙවත්. අපිට වුනොත් ප්‍රශ්න එන්න පුළුවන්. ඒවා අපි අපි විසඳ ගන්නවා ඇරෙන්න අපි ලෝකෙට පෙන්න ප්‍රශ්න විසඳන පවුලක් නෙමේ කවදාක්වත්. ප්‍රශ්න ආවට අපි දෙයියන්ගේ පිහිටෙන් අපි සතුටින් ජීවත් වෙනවා.


ඔබ සමිතා මුදුන්කොටුව මහත්මියගේ මේ ආදර කතාවට කැමතිද?


මම අකමැති නම් අම්මා කොහොමටවත් ඕයි වගේ දෙයකට අත තියන්නේ නැහැ. මොන දේ කළත් එයා මුලින් මගෙන් අහනවා. මේ දේ ගැනත් මගෙන් ඇවිල්ලා ඇහුවා මට ගොඩක් සතුටු හිතුනා අම්මා ඇවිල්ලා එහෙම කිව්වම. මොකද අම්මා ඒ වෙනකොට කාත් එක්කවත් එහෙම යාළුවෙලාවත් මොකුත් තිබ්බේ නැහැ. මං දන්නවා අම්මා කොච්චර දුකක් විඳින්න ඇද්ද කියලා. අපි කියනවානේ අම්මා කෙනෙක්ට වුණත් දරුවන්ගේ තමන්ගේ මනුස්සය නැත්නම් එ අම්මා ළඟ දරුවන්ගෙන් දෙන ආදරේ වෙනම එකක්. එතකොට මල්ලිගෙන් මගෙන් ලැබෙන ආදරය වෙනයි. නමුත් අපේ අම්මා එහෙම ලොකු වයසක් ගියපු කෙනෙක් නෙමෙයි. ඉතිං ඒක නිසා එයාටත් කවුරුහරි ආදරේ කරන්න කෙනෙක් ඕනේ. ඉතිං එයාගෙ හිතට අල්ලපු කෙනෙක් හිටියා එයා ඇවිල්ලා මට කිව්වා. මම ඒකට ගරු කරනවා මොනා උනත් එයා මගෙන් ඇවිල්ලා ඇහුවා. ඉතින් මට එවෙලේ ඇති වුණ දේ තමයි මං සාමාන්‍යයෙන් මගේ අම්මගෙ සතුට වෙනුවෙන් ඕනම දෙයක් කරන කෙනෙක්.


 අම්මා වෙනුවෙන් වෙඩිල්ලක් උනත් කන්න ලෑස්ති. ඒක තමයි ඇත්තම කතාව. ඇගේ සතුට වෙනුවෙන් මම ඕන දෙයක් කරන්න ලෑස්ති වෙලා හිටියෙ.  මට ලොකු shock එකක් ආවෙ නෑ අම්මෝ මේ මොකක්ද කරන්න යන්නේ කියලා. මගෙ ඔලුවට ආවෙ එයා සතුටින් ඉන්න ඕන කියන එක. මම කැමැති නෑ බිත්ති හතරකට කොටු වෙලා දවස ගානෙ අඩ අඩ අපිත් එක්ක ගත කරන කාලෙත් අර දුකෙන් උනාට බොරුවට හිනාවෙලා ඉන්නවා දකින්න ඕනෙ නැහැ. ඉතින් එයාගේ සතුට එතන නම් මං කිව්වේ ඒ දේ කරන්න කියලා. සමහර මිනිස්සු අර ලෝකෙට පේන්න සතුටින් ඉන්නවා කියලා කියනවානේ. ගොඩක් අය හිතන්නෙත් එහෙමයි. ඇත්තටම කිව්වොත් චිරන්ත වුණත් ගෙදර දේවල් හැමදේම බලනවා කරනවා. අපේ අම්මගේ අම්මා අපි ළඟ ඉන්නේ එයා cancer patient කෙනෙක්. එයාගෙ දේවල් ඉදන් අපේ ගෙදර පිරිමියා වෙලා හිටියෙ මම. මොකද මගෙ මල්ලි තාම ලොකු නැහැ. මම තමයි අර ගෙදර සද්දක් හරි ඇහුණොත් ඉක්මනට නැගිටලා ගිහිල්ලා බලන්නේ කරන්නේ. ඉතින් මම තමයි මූලිකයා වගේ හිටියේ තාත්තා ගියාට පස්සේ. ඉතින් දැන් ඇත්තටම කිව්වොත් මට එහෙම කිසිම උවමනාවක් නෑ කිසි දෙයක් කරන්න. මොකද හැම දෙයක්ම වගේ චිරන්ත බලනවා. ගාඩ්නිනුත් කරනවා හරි හොඳයි එයා. මල්ලි ගැන බලනවා මල්ලි ක්‍රිකට් ගහනවා එයත් එක්ක ඒවටත් උදව් කරනවා. මට සතුටුයි ඉතින් අම්මයි මල්ලියි සතුටුයි කියන්නේ මට ඕන දෙයක් ජීවිතේ.

විවාහයේදී living together  කියන එක ඔබ කොහොමද දකින්නේ?

ලංකාවේ ඇත්තටම මම  තව program එහෙක මේ ගැන කතාවක් කියල තිබ්බා. නමුත් මම විශ්වාස කරන්නේ දෙන්නෙක්ට දෙන්නෙක් විවාහ වෙන්න නම් ඒ දෙන්නා එකට ජීවත් වෙලා බලන්න ඕනේ විවාහ වෙන්න සුදුසුයි ද කියලා. මොකද අපි ගෙවල් දෙකක ඉඳන් ආදරය කරද්දි වගේ නෙමෙයිනෙ. අපි බැඳලා එක ගෙදරකට ආවට පස්සෙ සමහර වෙලාවට ඔයාගේ හස්බන්ඩ් ටවල් එක පිහදලා බිම දාල ගියොත් එතන ප්‍රශ්නයක් එතකොට වැඩ ඇරිලා ඇවිල්ලා ඇදුම් බිම දාල ගියොත් ප්‍රශ්නයක්, කන පිඟාන හෝදන්න නැතිවුණොත් ප්‍රශ්නයක්.. ඉතින් ඔය වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් අර   living together   කියන කන්සෙප්ට් එකට අපි ගියොත් දෙන්නට දෙන්නා ජීවත් වෙන්නේ ඒ දෙන්නගේ බලනවනේ සමානකම් මොනවද, වෙනස්කම් මොනවද කතාබහ කරගන්නවා. නමුත් බැන්දට පස්සේ පොඩ්ඩක් ප්‍රෙෂර් එක වැඩි කොළයක් අත්සන් කරලා අයිත් හදාගන්න කාලයක් නැහැ.

ඉතිං එකට ජීවත් වෙලා බලන්න ඕනේ ගැළපෙන්නෙ නැත්නම් එකට ඉන්න හොඳ නැහැ කවුරුත්. ලෝකෙට පේන්න අනේ මම ලොකු වෙඩින් එකක් ගත්තා කොහොමද මුහුණ දෙන්නේ කියලා එහෙම ජීවත්වෙලා මම හිතන්නේ වැඩක් නැහැ. දැන් මේ corona ඇවිල්ලා අපිට ඒවා කවුරුත් කලින් කියලා තිබ්බේ නැහැ මෙහෙම වසංගතයක් ඒනවා පරිස්සම් වෙලා ඉන්න කිව්වා නම් අපි කලින් ඇත්තටම දේවල් කරනවා අපිට කරන්න තිබ්බ දේවල්. ඉතින් ඒක නිසා කවුරුත් කියන දේවල් ඇත්තටම අදාළ නැහැ.

කාවවත් සතුටු කරන්න ඕනේ නැද්ද?

නැහැ. මුලින්ම ජීවිතයේ තමන් සතුටු කර ගන්න ඕනේ. අපි තමන්ව සතුටු කරගත්තොත් තමයි තව කෙනෙක්ව සතුටු කරන්න පුළුවන් වෙන්නේ. මම සංගීතය කරන්නේ අපි සිංදුවක් හැදුවා වුණත් මම කියන සිංදුව මට දැනෙන්නෙ නැත්නම් ඔයාට සින්දුව දැනෙන්නේ නැහැ. මම ඒක දැනෙන විදියට ගායනා කරොත් මට දැනෙනවා නම් එදාට ඔයා කියයි කවි ඔයා කිව්ව සින්දුව ලස්සනයි කියලා. එහෙම නැතුව මම කිසි උනන්දුවක් නැතුව ඔහේ කියලා දැම්මනම් වැඩක් වෙන්නේ නැහැ.

ආගම දහම විශ්වාස කරනවද?


ලොකුවට නැහැ. මම බුද්ධාගම. සමහර අය කියන්නේ ආගමට දහමට ලැදි කෙනෙක් කිව්වාම සමහරු කියන්නෙ හැම පෝයටම සිල් ගන්න කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැහැ මම. නමුත් මම ගෙදර පහන තියෙනවා හැමදාම උදේට. මම හැමෝටම ආශිර්වාද කරනවා මගේ යාලුවොන්ගෙ ඉඳන් හැමෝටම ආශිර්වාද කරනවා ඔවුන්ට ලස්සන සැපවත් ජීවිතයක් හම්බවෙන්න කියලා. බණ අහනවා සමහර  නිදහස් වෙලාවට. මම ඉස්සර පහණ තිබ්බෙ නැහැ. නමුත් ළඟකදි ඉඳන් තියෙනවා. මම පහන තියන්න ගත්තත් හරි මගේ හිතට පුදුම නිදහසක් තියෙනවා. දැන් අනුන් කරන දේවල් අදාලම නැත්තෙ මම හිතන්නේ ඒ නිසයි.

මගේ යාළුවෙක් හිටියා ඒගොල්ලොන්ගෙ අම්මයි තාත්තයි හැම පෝයටම සිල් ගන්නවා. දාන මාන කරනවා පින්කම් අරක මේක හැමදේම කරනවා මාර සල්ලි ගොඩක් වියදමුත් කරනවා. හැබැයි හිත ඇතුලේ තියෙන්නෙ වෛරයත්, දුෂ්ටකම, ක්‍රෝධය .ඉතිං ඒව තියාගෙන අපි කොච්චර ගානක් වියදම් කරලා පින් කරත් වැඩක් වෙන්නේ නැහැ.

ඔබ කිව්වා නොගැළපෙන සම්බන්ධයක් තියෙනවා නම් හොඳම දේ නවත්තලා දාන එක කියලා. තිබ්බද
එහෙම සම්බන්ධතා  ?


ඕන තරම් තිබ්බා. මමත් මනුස්සයෙක් අනිත් අය වගේම සම්බන්ධකම් තිබිලා තියනවා. ගැලපෙන්නෙ නැති උනාම කතා කරලා අයින් වෙලා තියනවා.  එහෙම රන්ඩු සරුවල් වෙලා අයින් උන තැන් කවදාක්වත් නැහැ.

අපරාදේ මං මෙයාව නැති කරගත්තේ කියලා දුක් වෙන ආදර කතා නැද්ද?


වෙලාවකට හිතුන වෙලාවල් තිබුනා. නමුත් ඒත් මම හොඳ පැත්තට හිතුවා.

 ඔබ ඔබගේ තීරණය ගැන හැමවෙලේම ආත්මාර්ථකාමී විදියට ද හිතන්නේ වැරැද්දක් තිබ්බාම පිලිගන්නෙ නැද්ද?

නැහැ. වැරදකි තිබ්බම පිළිගන්නේ නැති එකට වඩා මම හැමතිස්සෙම ධනාත්මක විදියට හිතන්න ගත්තා. මොකද මම එක sentence එකක් හොඳටම විශ්වාස කරන වැකියක් තියෙනවා. හැමදේම වෙන්නේ හේතුවකට කියන එක. මම ඒක තදටම විශ්වාස කරන කෙනෙක්. ඉතින් මේ තාක් දුර වෙලා තියෙන හැම දෙයක්ම නරකට සිදු වුණත් හොඳට සිදුවුණත් දවසෙ අන්තිමට මම ඒ ගැන හිතද්දී මම හිතනවා ආ මේ හේතුව හින්දා තමයි මෙහෙම වුණේ.

මොන වැරැද්ද කරත් තමන්ම එක්ස්කියුස් එකක් හදා ගන්නවා ද හැමදේම උනේ හොඳට කියලා?

නැහැ වැරදි කියන දේ අපි හැමෝගෙම අතින් සිදුවෙනවා. සමහර අය හිතල වැරදි කරන අය ඉන්නවා. හැබැයි මගේ ජීවිතේ මම හිතලා වැරදි කරලා නැහැ. සමහර වෙලාවට ආදරේ නොලැබුන වෙලාවල් වලදී වැරදි කරලා තියෙන්න පුළුවන්.  වෙන කෙනෙක්ගේ සෙනෙහස අර කියනවානෙ එතනින් ආදරයක් ලැබුණු නැත්නම් අපේ දුක කියන්න හරි අපි යාලුවෙක් ඇති කර ගන්නවා. ඒ වගේ සමහර වෙලාවට නොකියා ඒ යාළුකම අතරේ එහෙම සම්බන්ධතා develop වෙලා එහෙම වෙලා තියෙනවා. නමුත් ඒ ඇරෙන්න මම විශ්වාස කරන්නේ මනුස්සයෙක් හරියට කෙනෙක්ට ආදරය දෙනවා නම් කිසිම අනියම් සබඳතාවයක්වත් පැවැත්වෙන්නේ නැහැ. හරි ආදරයක් ලැබෙනවා නම් ඒ ආදරය හැමදාටම රැකගෙන ඉන්න ඕන කෙනෙක් බැඳෙනවා. දැන් කාලේ හැම දෙයක්ම දුකක්නෙ. අපි නිවුස් බැලුවොත් කොරෝනා වලින් මිනිස්සු මැරෙනවා අනන්තවත් අප්‍රමාණ ගණන් ළමයි දුෂණය වෙනා. ඉතින් ඒ වගේ කතන්දර අහද්දි ජීවිතය ඇත්තටම කලකිරෙනවා. ඉතින් මම හැම තිස්සෙම හිතන්නෙ අපි හරියට ජීවත් වුනොත් අනිත් අය අපි ගැන මොනවා කිව්වත් අදාළ වෙන්නේ නැහැ.


අර ඔබ කිව්වනේ ආදරේ අඩු උනාම ,ආදරයක් නැති උනාම අඩුම තරමේ දුකක් හරි කියන්න අපි වෙන කෙනෙක්ට කියන්න යයි කියලා. ඒ දුක අහන්න එන කෙනා ඇත්තටම එන්නේ හොඳ අදහසකින් ද?

නැහැ. එහෙම අත්දැකීම් මට තියෙනවා. ගොඩක් වෙලාවට ඒ දුක අහන්න එන කෙනා පොඩි intention එකක් තියා ගන්නවා හොඳයි ඉවර උන් ඒක හොඳයි. මට අවස්ථාව තියෙනවා. මොකද ගෑනු කියන්නේ හරි බොලඳ චරිතනේ. ගෑණුන්ට හරි චූටි දේකින් සතුටු වෙන්න පුළුවන්. මං මගේ යළුවන්ට වුණත් කියන්නේ දැන් මගේ බැඳපු යාලුවෝ වුණත් ඉන්නවා. මම කියන්නේ දැන් ගැනු කෙනෙක්ට හරි චූටි දෙකින් සතුටු වෙන්න පුළුවන් කියන එක. ඉතිං ඒ නිසා යහපතක්ම වෙනුවෙන් එනවා කියලා කියන්න බැහැ.


හොඳම යාළුවෙක් හොයාගන්නේ කොහොමද?

හොඳම යාළුවෙක් කියන්නේ අපිට සතුටෙදී ඉන්න යාලුවෙක්ට වඩා මම  විශ්වාස කරන්නේ දුකට ඉන්න යාළුවෝ තමයි වැදගත්. මොකද අපි දුක කියන දේ පොඩි සීමාවල් තියෙනවනේ. සතුට කියන දේ ඉතින් සමහර අය ඒක සමරන විදිය ගොඩක් වෙනස්. හැබැයි දුකකින් දේ මම දකින්නෙ භයානක දෙයක් විදියට මොකද මමත් ඒ දේට මුහුණ දීලා තියෙනවා.දූක වැඩි වුණාම අපි යනවා සීමාවකට depression ඒ අවස්ථාවලදී අපි කෙනෙක්ට කතා කරලා අපේ යාලුවෙක් කියලා හිතාගෙන අපි ඒ ගැන ඒ යාලුවාට කියනවා නම් ඒත් ඒ කෙනා අපි වෙනුවෙන් නැත්නම් ඒක යාළුකමක් නෙමෙයි.

ඒ කියන්නේ යාලුවෙක් ඔබ බලාපොරොත්තු වෙන්නේ ඔබේ අත්‍යවශ්‍යතා ටික සපුරාගන්නද?

නෑ කවදාවත් නැහැ. මගේ ලඟ ඉන්න යාලුවොන්ගෙන් මං ගැන ඇහුවොත් මං ගැන ඕන දෙයක් කියයි. මම දුකේදී සතුටෙදි ඕන වෙලාවක දී ඉන්න යාළුවෙක් මගේ යාලුවෝ වෙනුවෙන්. මට වෙලාවල් අදාල නැහැ සමහර වෙලාවට. මගේ යාළුවෙක් කරදරේක නම් මම වෙලාව බලන්නේ නැහැ මම ඕන වෙලාවක එයාලා වෙනුවෙන් ඉන්නවා. මාව ගොඩක් අය තියන් හිටියා සමහර වෙලාවල් වල අත්‍යවශ්‍ය දේවල් වලට. ඒ ඇරෙන්න මම කවදාක්වත් මගේ යාලුවෝ පාවිච්චි කරලා නැහැ.

ඔබ පිළිගන්නවද ඔබ සමහර යාලුවන්ගෙන් පාවිච්චි වෙලා තියෙනවා කියලා?


ඔව් අනන්තවත්.



ඒ දේවල් හරි පැත්තකට වෙලා බලන කොට මොකද හිතෙන්නේ තරහක් තියෙනවද?


තරහක් නැහැ.චුටි දුකක් තියනවා. දැන් ඒකත් නැහැ ඒගොල්ලොන්ට නැති බැරිකමක් නිසා හෝ මොකක් හරි අඩුපාඩුවක් නිසානේ ඒ දේවල් කරගන්නේ. මම විශ්වාස කරන්නේ කර්ම කියලා දෙයක් ජීවිතයේ තියෙනවා.

මිනිස්සුන්ට ජීවිතය ප්‍රශ්න ඒනවනෙ. ඒ ප්‍රශ්න වල අපි හිතමු උපරිමයක් තියෙනවා කියලා. ඔබේ ඒ උපරිමය දැකපු කෙනෙක්. ඒ හැම තැනකදිම ශක්තිමත් උන විදිය සහ මේ බලන අයටත් ඒ වගේ ප්‍රශ්න ඇති අඩු වැඩි වශයෙන් කොහොමද ඒ ප්‍රශ්න වලට මුහුණ දුන්නේ?

හිත හයිය කර ගන්න  මූලිකම දේ තමයි තමන් තමන් ගැන ආත්ම විශ්වාසයක් ඇති කර ගන්න ඕනි. තමන් හරි විදියට ජිවත් වෙන කෙනෙක් නම් කවදාක්වත් පසුතැවීම් ගැන වැඩිපුර හිතන්න ඕනෙ නැහැ. මගේ ජීවිතයේ මම උපරිමයෙන්ම දුවෙක් විදියට, සහෝදරියක් විදියට ඒ හැම පැත්තෙන්ම මගේ උපරිමයෙන් මං කරලා තියෙනවා සීමාවල් නැතුව. එකත් එක්ක බලද්දී කට්ටිය සමහර කමෙන්ට්ස් තියෙනවා අර මම කිව්ව තැනට යනවා අර depression කියන තැනට යන දේවලුත් තියෙනවා. ඉතිං ඒ වගේ තැන් වලට ගිහිල්ලා තියෙනවා මම. මම හැමතිස්සෙම කල්පනා කරනවා නෑ මම මෙච්චර කල් කොහොමහරි ඇදගෙන ආවා අවුරුදු 25ක් ඇදගෙන ආවා. මගේ අම්මයි මල්ලියි වෙනුවෙන් මම කොහොම හරි මේ ජීවිතේ තව ගෙවන්න ඕනේ. අපි ජීවිතය නැතිකර ගත්තා කියලා අපිට සහනයක් ඇති වෙන්නේ නැහැ. මොකද එතනත් අපි කල්පනා කරන්න ඕනේ අපේ ආදරණීය ඉන්නවා අපි වෙනුවෙන්.

 එතකොට ඒගොල්ලෝ ඒ මොන වගේ දේවල් වලට මුහුණ දෙයිද. හිතන්න මම ජීවිතේ නැති කරගත්තා කියලා. එතකොට මගේ අම්මට මල්ලිට මොනවද මිනිස්සු නොකියන්නේ. ඔයාලා හින්දා තමයි මෙහෙම වුණේ ඒ වගේ තැනකට මම කවදාක්වත් පත් කරන්නේ නැහැ .මොකද මගෙ පනත් හරි ඒගොල්ලොත් හරි. ඉතින් කාන්තාවන්ට කියන්න පුළුවන් ලොකුම දේ තමයි හිත ශක්තිමත් කරගන්න. මොකද කාන්තාවන්ට තරම් දරාගැනීමේ ශක්තියක් කාටවත් නැහැ.දරුවෙක් ලැබෙන්න ඉද්දි වුණත් ඒ එන වේදනාව අපේ අම්මා මට කතන්දර කියලා තියෙනවා සහ තාත්තත් කියලා තියෙනවා. අම්මා නැතිවෙන්නම ගිය අවස්ථාවක් ඒක මාව බිහි කරන්න ගිය වෙලේ. ඒ දේවල් එක්කම විශ්වාස කරනවා මම පෞද්ගලිකව අම්මා කෙනෙක් වෙලා නැති කෙනෙක් වුනත් මම විශ්වාස කරනවා ඒ වේදනාව කාටවත් දරාගන්න බැහැ. ඉතින් ගෑනු කියන්නෙ ඕන දෙයක් කරන්න පුළුවන් ඕන ශක්තියක් තියෙන කෙනෙක් සහ හැමතිස්සෙම independent වෙන්න ඕනේ ගෑනු ලමයෙක් උනහම. සමහර අය ඉන්න කියනවා independent උනහම මට  හස්බන්ඩ් කෙනෙක් ඕනෙ නැහැ කියලා. නමුත් දවසක අර මොහොතක් එනවා ආදරේ කරන්නත් කෙනෙක් ඕන ජීවිතේ.

 හැබැයි සමහර වෙලාවට ජීවිතයේ බැට කාලා කාල සීමාව පැන්නට පස්සේ එනවා නෑ කවුරුත් ඕනෙ නෑ මට මං හිටියම ඇති කියලා හිතෙන්නත්. එතකොට ඒ වගේ තැනක මම ඉන්නේ. මගේ ජීවිතය මම හිතන්නේ මට මේ ආත්මෙ මම විවාහය ගැන හිතන කෙනෙක් නෙමෙයි. මට ඕනේ මගේ අම්මා තාත්තා මල්ලිලා හැමෝම එක්ක සතුටින් ඉඳලා මේ ජීවිතයේ ගෙවලා දාන්නයි මට ඕනේ. මොකද මට මේ ආත්මෙ එහෙම විවාහයක් ගැන හිතන්නේ නැහැ ඉස්සර මං විවාහය ගැන ලොකු හීනයක් මවාගෙන හිටියේ.

ඒ කියන්නේ ඔබ පතන්නා වූ විදිහෙ ප්‍රේමයක් ඔබට ලැබිලා ම නැද්ද?

නෑ. මම හිතන්නේ මම හැමතිස්සෙම මගේ මේ හදවතේ තියෙන ආදරය පරදවා කාගෙන්වත් මට ආදරයක් ලැබිල නැහැ මගේ අම්මගෙන් ඇරෙන්න. ඉතින් එහෙමයි සහ මගේ ජීවිතය වෙලා තියෙන අත්දැකීම් සහ මගේ පවුලේ වෙලා තියෙන දේවල් සහ මගේ යාලුවොන්ගෙන් වෙලා තියෙන දේවල් එක්ක මට එහෙම හිතෙන්නේ නැහැ.

වෙන්න තියන දෙයක් නම් වෙයි කවද හරි .කවදාවත් අපිට එක නවත්තන්න බැහැ. උඩ ඉන්න කෙනා අපේ ජීවිත කතාව ලියලා ඉවරයි. ඉතින් මම ලොකුවට හීන මවන කෙනෙක් නෙමේ. අද දවසේ සතුටෙන් ඉඳලා ජීවත් වෙන කෙනෙක්. වෛරය හිතේ තියාගන්න එපා ඉන්න මොහොත සතුටින් ජීවත් වෙන්න.අපි හැමදාම ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. ලස්සන දෙයක් දැක්කොත් අගය කරන්න. අගය කරන්න කැමති නැත්නම් ඒකට hate කමෙන්ට් දාලා එම කරන්න යන්න එපා අකමැති නම් ඒක පැත්තකට දන්න . මිනිස්සුන්ට ගරු කරන්න.


තාත්තා ගැන වෛරයක් තියෙනවද?

නැහැ එහෙම නැහැ. මතක් වෙනවා අනන්තවත්. මතක් වෙන වාර ගානෙ මම වෙලාවකට මැසේජ් එහෙම දානවා එතකොට එයත් රිප්ලයි කරනවා. ඉතිං වෙලාවකට අපේ ගෙදර එනවා. අපේ පවුල හරි පුදුමාකාර පවුලක් ඒ අතින් ගත්තොත්. අපි එක්කෙනාට එක්කෙනා වෛර කරගෙන ඉන්න පවුලක් නෙමෙයි. හැමෝම එකමුතුයි. අපේ අතර කිසිම පැටලිලි සහගත කිසිම ප්‍රශ්නයක් නැහැ. වටේ ඉන්න අයනේ කියන්නෙ මුන් බලන්නකො එකතු වෙලා ඉන්නවා ඒකටත් අවුල්. අපි සතුටින් ඉන්න කොටත් ප්‍රශ්නයක් එක. ඉතින් අපේ පවුල තුළ එහෙම පැටලිලි සහගත දේවල් නැහැ. අපේ අම්මා හැමෝත් එක්කම හොඳින් ඉන්න කෙනෙක්. ඒ මනසිකත්වය තමයි මටයි මල්ලිටයි අපි දෙන්නටම ඇවිල්ල තියෙන්නේ. මගේ මූණට ඇවිල්ල බැන්නත් මම හිනා වෙලා ඉන්නවා දැන් වෙනකොට ඒ තැනට මම ඔලුව හදාගෙන ඉන්නෙ. මම කාටවත් වෛර කරන්නේ නැහැ.

අපි මොකක් හෝ දෙයක් කරන්නේ සතුට වෙනුවෙන්නේ. හැබැයි අපි ගාව මොන දේ නැතත් ඒ සතුට විතරක් තියෙනවා නම් අපිට ලස්සනට ජීවත්වෙන්න පුළුවන්?

ඔව්. අපේ සතුට අපි හදාගන්න ඕනේ. අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. ඉතිං ඒ නිසා මම මං ගැන හිතලා මගේ මනසයි හිතයි හදාගත්තොත් ඕන දේකට මුහුණ දෙන්න පුළුවන්

සාකච්ඡාව - කෝනාර ව්ලොග්ස්