අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ මාණ්ඩලික ප්‍රධානී යෝෂිත රාජපක්ෂ යූටියුබ් ශිල්පියෙකු වන ඉරාජ් වීරරත්නට කණේ පහරක් දුන් බවට පැතිර යන ආරංචිය ප්‍රතික්ෂේප කර තිබේ.


යෝෂිත රාජපක්ෂ ඩේලි මිරර් පුවත්පතට විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් සමාජ මාධ්‍ය තුළ පැතිර යන එවැනි කටකතා පදනම් විරහිත බවත් වීරරත්න සමඟ තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් පවසා ඇත.

ඉරාජ් වීරරත්න ජාතික තරුණ සේවා සභාවේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස නවරජය බලයට පත්වූ විගස පත්වීමක් ලබාගත්තේ ක්‍රිඩා හා තරුණ කටයුතු ඇමති නාමල් රාජපක්ෂ අතිනි.
ඊයේ ඔහු එම තනතුරින් ඉවත්වන බවට නාමල් ඇමතිවරයාට ලිපියක් ලියා එහි පිටපතක් සමාජ මාධ්‍ය වෙත යොමු කළේය.
ඉරාජ් ජාතික තරුණ සේවා සභාවේ තනතුරෙන් ඉල්ලා අස්විම ගැන පැහැදිලි හේතුවක් නොකී අතර තමන්ගේ පුද්ගලික වැඩ වලට වේලාව අවශ්‍ය නිසා එසේ කළ බව දන්වා තිබුණි.
යෝෂිත ඩේලි මිරර් වෙත පැවසුවේ  "මම ඔහුව අවසන් වරට දුටුවේ මා කලකට පෙර සහභාගී වූ උත්සවයකදී ය. මම ඔහු සමඟ කිසිසේත් සම්බන්ධ වී නැත. ඔහුගේ ඉල්ලා අස්වීමට මට කිසිඳු සම්බන්ධයක් නැත"  යනුවෙනි.
පසුගිය දිනවල ඉරාජ් වීරරත්නගේ ෆේස් බුක් ගිණුම අක්‍රීය වීම ගැනද ප්‍රවෘත්ති මැවුණ අතර ඇතැමුන් කියුවේ ඔහු විසින්ම එය ‘ඩිඇක්ටිවේට්‘ කරගෙන ඇති බවයි.
මේ අතර වෘත්තිය සමිති ප්‍රධානී වසන්ත සමරසිංහ පවසා ඇත්තේ ඉරාජ්ගේ ෆේස් බුක් සමාජ මාධ්‍ය ගිණුම් අත්හිටුවන ලද්දේ තමන් ෆේස් බුක් වෙත යොමු කළ පැමිණිල්ලක ප්‍රතිඵලයක් ලෙස බවයි.


පසුගිය අගොස්තු 01 වනදා ඇවන්ඩ්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපතිගේ ආන්දෝලනාත්මක හඬ පටයක් සම්බන්ධ පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාර විසින් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන ලද අතර එහිදී සංස්කරණය කරන ලද හඩ පටයක් ගැන කතාබහක්ද ඇති විය. ඇතැමුන් සැක කළේ ඉරාජ් විසින් එය සිදු කරන ලද බවටය.
2019 සැප්තැම්බර් 25 හිටපු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වැඩ තහනමට ලක්වූයේ සේනාධිපති හා දිල්රුක්ෂි අතර ඇතිවූ සංවාදයක් සමාජ මාධ්‍යවෙත නිරාවරණය වීමෙන් පසුවය. එම තීන්දුවට එරෙහිව දිල්රුක්ෂි පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරයට පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.
අදාල පැමිණිල්ල පසුගිය 01 වනදා  විභාගයට ලක් විය. සේනාධිපති නිකුත් කළ හඬ පටය ස්ථාන 10 කදී සංස්කරණය (එඩිට්) කළ එකක් බව එහිදී ඔප්පු විය.
මේ හේතුවෙන් දිල්රුක්ෂි ඩයස් මහත්මිය යලි සේවයේ පිහිටුවන්නටද තීන්දු විය.
 රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර රස පරීක්ෂක ඩබ්ලිව්.ජී.ඩී.අයි ගුණතිලක පරීක්ෂණ කමිටුවට හඩ සංස්කරණය ගැන වාර්තාවක් ඉදිරිපත් කරමින් එම සංස්කරණ ශිල්පියා සම්බන්ධ පරීක්ෂණයක් අරඹන ලෙසද ඉල්ලා තිබුණි.