The brother refused to take home the sister who had been receiving treatment for covid infection

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබා නිවසට ඇරලවූ හැත්තෑ හතර හැවිරිදි මවක දින තුනක් තිස්සේ නිවසේ ආලින්දයේ කල්ගත කරනු ඊයේ (25දා) සවස දැකගත හැකි විය.අදාළ නිවසේ වෙසෙන තම - සහෝදරයා විසින් මෙසේ නිවස තුළට නොගැනීම නිසා අසල්වාසීන්ගේ උපකාරයෙන් දිවි රැකගනිමින් සිටින්නේ පල්ලෙවෙල නෑගමුව විමලාවතී නමැති මවකි.

 ඇය දිගු කලක් තිස්සේ සිය සහෝදරයා සමග මෙම නිවසේ පදිංචිව සිට ඇති අතර පසුගිය දිනක රෝගාතුර වීමෙන් මීරිගම රෝහලට ඇතුළත් වී තිබේ. එදී ඇය කෝවිඩ් වෛරසය ආසාදිත බව හෙළිවීමෙන් පසු වැල්ලවත්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර ඇත.

එහි දස දිනක් ප්‍රතිකාර ලැබූ ඇය 21වැනිදා රාත්‍රියේ ඇගේ නිවසට ඇරලවා තිබේ. ඒ අවස්ථාවේ සිට නිවසේ වෙසෙන සිය සහෝදරයා තමන්ට නිවසේ දොරගුළු විවෘත නොකළ හේතුවෙන් තමන් ඉස්තෝප්පුවට වී අව් වැසි ආදියෙන් පීඩාවට පත්වෙමින් කල් ගතකරන බවත් අසල්වාසීන්ගෙන් ලැබෙන ආහාර ආදියෙන් දිවි රැක ගන්න බවත් ඇය හඩමි පැවසුවාය.  එමෙන්ම තමන් වැල්ලවත්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී හැඳ සිටි ඇඳුම් පිටින් තවමත් කල් ගත කරන බව කියන ඇය ඇගේ ඇදුමක් ලබා ගැනීමට ඇගේ කාමරයට යාමට හෝ සහෝදරයා අවස්ථාව ලබා නොදී ඇතැයි හඩමින් පැවසුවාය.

තමන්ගේ දියණිය කණ්ඩලම ප්‍රදේශයේ නිවසක තාවකාලිකව නතරවී රැකියාව කරන හෙයින් ඇය සිටින ස්ථානයට යාමට පවා තමන්ට හැකියාවක් නැතැයිද එසේයාමට තමන්ගේ ඇදුම් ආදිය ලබා ගැනීමට සහෝදරයා නිවසේ දොර විවෘත නොකිරීම මහත් ගැටලුවක් බවත් ඇය පැවසුවාය. ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරියා දහවල් පැමිණ කාන්තාවට සුපුරුදු පරිදි නිවසේ දිවි ගෙවීමට අවස්ථාව සලසා දෙන ලෙස ඇගේ සහෝදරයාට උපදෙස් දී ඇතත් ඔහු එය ප්‍රතිෂ්පකළ බව අසල්වාසීන්ගෙන් දැන ගන්නට ලැබිණි.

කාන්තාවකගෙන් තොරතුරු විමසමින් සිටින අවස්ථාවේ ඇගේ සහෝදරයා බව කියන පුද්ගලයා ඒ ආසන්නයේගොඩ ගසා තිබූ ලී ගොඩක් අසලට පැමිණි අතර ඔහුගෙන් මේ සම්බන්ධයෙන් විමසීමට උත්සාහ කළ අවස්ථාවේ තමන් සාකච්ඡා කරන්නේ  නීතිඥයන් සමග පමණක් බව පවසා හෙතෙම නිවසට ගියේය.

(මීරිගම - කාන්ති)