doctor-mohomad-janan-death

රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කළ වෛද්‍යවරයෙකු කොවිඩ් -19 රෝගය සදහා ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගොස් තිබෙන බව වාර්තා විය.
එසේ මියගොස් තිබුනේ රෝහලේ ප්ලාස්ටික් ශල්‍යකර්ම ඒකකයේ සේවය කළ මොහොමඩ් ජනන් ය.
මුලදී රෝහලේ සාමාන්‍ය කොවිඩ් වාට්ටුවට ඇතුළත් කළ වෛද්‍ය මොහොමඩ්ගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරී සති දෙකකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් පසුව දැඩි සත්කාර ඒකකයට මාරු කොට තිබූ අතර එහිදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් නරක අතට හැරී මරණය වාර්තා විය. නමුත් ඔහු අවසන් දිනයේ සුවෙන් පසුවූ බවට සොයුරා සාක්ෂි සපයා තිබේ.

"මල්ලී ඉස්පිරිතාලේ දවස් 14ක් වගේ හිටියා. මම තමයි මල්ලිව ඇඩ්මිට් කරේ. ICU එකේ දවස් 8 - 10ක් වගේ හිටියා. අද ටිකට් කපලා ගෙදර යන්න හිටියේ. හොඳට හිටියා. එහෙම හිටිය එක්කෙනා ඊයේ එකපාර ට හාට් ඇටෑක් එකක් ඇවිල්ලා වගේ නැති වුණා. වෛද්‍යවරු කිව්වා ලේ හිරවෙලා කියලා. ඊයේ 2ක වෙනකල් වෛද්‍යවරු හරිම අමාරුවෙන් මල්ලිගේ ගියපු පණ තමයි අල්ලගෙන හිටියේ.

මම බලාගෙන හිටියා. ඒ වෙලාවේ ඉදලා අද උදේ 7 වෙනකල් ඒ තත්ත්වයෙන්ම මල්ලි හිටියා. මම 5.30ට ආවා උදේ. බලනකොට මැෂින් එක දාපු විදියටම තිබුණා. අද උදේ 7ට මල්ලි නැති වුණා. මං බලාගෙන හිටියා ඉවසගන්න බැරිවුණා. තරහකාරයෙක්ටවත් මේ වගේ ලෙඩක් හැදෙන්න හොඳ නෑ. මනුෂ්‍ය ජාතියෙන් කාටවත් ලෙඩ බෝකරන්න එපා කියලා දෙයියන්ගෙන් ඉල්ලන්නවා. කන්න බොන්න අපිට එපා. කොහොම හරි ජීවත්වෙන්නම්. ලෙඩ හැදෙන්න හොඳ නෑ."

තිදරු පියෙකු වූ වෛද්‍ය  මොහොමඩ්  ජනාන් මහතා ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ ළාබාලතම දරුවාට සම්පූර්ණ වී තිබුණේ මාස 03 ක් පමණි.

මෙම රෝහලේම පසුගිය පෙබරවාරි මාසයේ දී ගයාන් දන්තනාරායන නම් 32 හැවිරිදි වෛද්‍යවරයෙකු ද කොවිඩ් -19 වෛරසයට ගොදුරු වී මිය ගියේය.


කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ගයාන් දන්තනාරායන රාගම රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකි.
එමෙන්ම පසුගිය අගෝස්තු 10 වන දා ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය පද්ම ශාන්ත මහතා කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්විය.

රාගම ශික්ෂණ රෝහලේ වසර 5කට වැඩි කාලයක් සේවය කළ 41 හැවිරිදි රාසික් මොහොමඩ් ජනන් ඉමහත් කැපවීමකින් රෝහලේ සේවය කළ වෛද්‍යවරයෙකි.
ඔහු කිසියම් හේතුවක් මත කොරෝනා වෛරසයට එන්නත ලබා නොගත්තේය. ඊයේ දිනයේ සමාජ මාධ්‍ය තුළ ඔහු එන්නත නොගැනීම ගැනද සංවාදයක් පැනනැගී තිබුණි.