ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අනතුරට පත්වූ නිව් ඩයමන්ඩ් නෞකාව මගින් සමුද්‍රීය පරිසරයට වූ හානිය සම්බන්ධයෙන් වන්දි අය කරගැනීම පසුගිය අප්‍රේල් මස 30 වැනිදා වනවිටත් සිදු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ 34 වැනි වගන්තිය මගින් සජීවී මුහුදු සම්පත් හා වනසතුන් ආරක්ෂණය හා සංරක්ෂණය කිරීමද  ඇතුළත්වන නමුත් මෙම  නෞකාවෙන් සිදුවූ අනතුරෙන්  ඉහත කරුණට අදාළ වන්දි  මුදල් අය කරගෙන නොමැති බව විගණනය මගින් අනාවරණය කර ඇත. සජීවී මුහුදු සම්පත් හා වනසතුන් ආරක්ෂණය හා සංරක්ෂණය කිරීම, සමුද්‍රීය සංවේදී කලාප හඳුනාගෙන ගැසට් කිරීම ආදී අවශ්‍ය කටයුතු සිදුකළයුතු  වුවත් විගණිත දිනය වනවිටත් ඒ සඳහා කටයුතු කර නොතිබූ බව විගණන වාර්තාවේ සඳහන්  වේ.



මෙම නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය මගින් දරනු ලැබූ වියදම් වෙනුවෙන් 2020 වසරේ සැප්තැම්බර් මස 16වැනිදා රුපියල් මිලියන 300ක අන්තර් පිරිවැය ඉල්ලුම් පත්‍රයක් හා එම මස 24 වැනිදා රුපියල් මිලියන 100ක් වටිනා අත්තර් පිරිවැය ඉල්ලුම් පත්‍රයක් අදාළ සමාගම වෙත ඉදිරිපත් කර සම්පුර්ණ මුදල අය කරගැනීමට කටයුතු කර තිබුණි. කෙසේ වුවද නිව් ඩයමන්ඩ් නෞකාවට අදාළව තෙල් විසුරුම් මගින් දූෂණය සිදුකිරීමේ වරදමත නෞකාවේ නෞකාධිපතිට එරෙහිව නඩු පවරා තෙල් දූෂණයට අදාළව රුපියල් මිලියන 10ක දඩමුදලක් අයකරගෙන තිබුණි. එමෙන්ම නෞකාවේ අනතුරක් සම්බන්ධයෙන් වූ දූෂණ සම්බන්ධව වෙරළබඩ රාජ්‍යයට වාර්තා නොකිරීමට අදාළව මෙම නෞකාවේ නෞකාධිපතිට  එරෙහිව නඩු පවරා රුපියල් මිලියන 02ක දඩ මුදලක්ද අය කරගෙන ඇත.


 එමෙන්ම 2020 වර්ෂයේ සැප්තැම්බර් මස 03 වැනිදා මෙම නෞකාවේ ගිනි ගැනීම පාලනය කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් ඇමෙරිකානු ඩොලර් 280,000ක මුදලක් ඉල්ලම් කර තිබුණි. මෙම මුදල අදාළ නැව් සමාගම විසින් මහා භාණ්ඩාගාරය වෙත තැන්පත් කර තිබූ අතර, එම මුදලින් රුපියල් මිලියන 45.54ක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත මහා භාණ්ඩාගාරය මගින් ලබා දී තිබුණි. බොරතෙල් මෙට්‍රික් ටොන්  270,000ක් රැගෙන කුවේට් රාජ්‍යයේ සිට ඉන්දියාව බලා යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාව සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුරදී අනතුරට ලක්විය. අනතුරුව 2020 වසරේ සැප්තැම්බර් මස 03 වැනිදා නෞකාව ගිනි ගැනීමට ලක්විය.

 -චන්දන සමරවික්‍රම-