ඩෙල්ටා කොවිඩ් රෝගීන්ට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වාම හෘදයාබාධවලට ලක්වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒකකයේ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි.
 
එවැනි කොවිඩ් ආසාදිත රෝගීන් විසිදෙනකුට පමණ පසුගිය සති කිහිපයේ ඇන්ජියෝ ප්ලාස්ටික් සැත්කම් සිදුකල බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.

පලමු සහ දෙවන කොවිඩ් රැළි දෙකෙහිදි හෘදයාබාධයට ලක්වූ කොවිඩ් රෝගීන්ගේ ප්‍රවණනතාවක් දක්නට නොලැබුණු අතර තුන්වැනි රැල්ලේ දී මතු වූ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ සංකූලතාවක් ලෙස මෙය දක්නට ලැබෙන බව වෛද්‍යවරයා සඳහන් කරයි.



හෘදයාබාධයට ලක් වී රෝහල් ගත වන බොහොමයක් පිරිස් වයසින් අඩු වයස් කාණ්ඩවල පුද්ගලයන් වන අතර සාමාන්‍යයෙන් හෘදයාබාධයකට තුඩුදෙන අධික රුධිර පීඩනය,කොලෙස්ටරෝල්,දියවැඩියා තත්වයකට ගොදුරු නොවී හෘදයාභාදයට ලක් වුවන් බව ඔහු පවසයි.

වයසින් අඩු වුවත් කිසියම් පුද්ගලයෙකුට යම් හෘදයාබාධයක රෝග ලක්ෂණ මතු වුවහොත් පමා නොවී ජාතික රෝහලට ඇතුළත් වන ලෙසත් එවැනි රෝගීන් බේරාගැනීමට තමා ඇතුළු තම කණ්ඩායම නිරන්තරයෙන් කටයුතු කරන බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.

ඩෙල්ටා ආසාදනය වී හෘදයාබාධයකට ලක්වන රෝගීන් ගැන විශේෂ පර්යේෂණාත්මක සොයා බැලීමක් ආරම්භ කර ඇති බවද වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා වැඩිදුරටත් පවසයි.