කොරෝනා මර්දන එන්නත් ලබා ගත් පුද්ගලයගේ මරණ අනුපාතය ඇත්තේ ඉතාම පහළ අගයක බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා ඒකකයේ ප්‍රධානී මහාචාර්ය නලිකා මලවිගේ මහත්මිය පැවැසුවාය.   ඇය එසේ පැවසුවේ මෙරට භාවිත කෙරෙන කොවිඩ් මර්දන එන්නත් තුනකින් ලැබෙන රැකවරණය සම්බන්ධයෙන් තොරතුරු රැසක්  ඊයේ (26) අනාවරණය කරමිනි. බහරේන් රාජ්‍යයේ වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් නිකුත් කළ පරික්ෂණ වාර්තවක් පදනම් කරගෙන ඇය මෙම තොරතුරු ඉදිරිපත් කළාය.

මේ අනුව සයිනොෆාම් එන්නත ගත්  පුද්ගලයන්ගේ කොවිඩ් මරණ අනුපාතය සියයට  0.46 ක් වශයෙන්ද, ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ලබාගත් අයගේ අනුපාතය සියයට 0.15 ක් වශයෙන්ද, ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ්  එන්නත ලබා ගත් පුද්ගලයන්ගේ මරණයට අනුපාතය සියයට 0.03 ක් වශයෙන්ද සටහන් වන බව මහාචාර්යවරිය කීවාය..


සයිනොෆාම් එන්නත ගත් ලක්ෂයක පමණ පිරිසකගෙන් කොවිඩ් ආසාදිතයන් බවට පත්වීමේ හැකියාව ඇත්තේ ඉන් තුන්සිය පනස් දෙනකු පමණක් බව ඇය සඳහන් කළාය. එම 350 දෙනාගෙනුත් මිය යෑමේ ප්‍රවණතාව ඇත්තේ එක් පුද්ගලයකු පමණක් බවද ඇය කීවාය.. ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ගත් ලක්ෂයක පමණ පිරිසකගෙන් කොවිඩ් ආසාදිතයන් බවට පත් විය හැක්කේ 136 දෙනකු පමණක් බවත්, එම 136 දෙනාගෙන්ද එක් පුද්ගලයකු මියයාමේ සම්භාවිතාව සියයට .02 ක් බවත් බහරේන් පරික්ෂණයෙන් වැඩිදුරටත් තොරතුරු හෙළිවී ඇතැයි මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය  පැවැසුවාය.


 -සුජිත් හේවාජුලිගේ-