sri lanka covid spread daily update

මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින්  කොරෝනා රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි. 


 බේරුවල

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී කොට්ඨාස කිහිපයක පදිංචි පුද්ගලයන් 296 දෙනකු වෙනුවෙන්  10 වැනිදා පස්වරුව වනතෙක් බේරවල වෙරළ ක්‍රීඩාංගන භූමියේ සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවකින් පුද්ගලයන් 105 දෙනකු නව ආසාදිතයන් ලෙස හඳුනාගත් බව බේරුවල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශය සහ බේරුවල පොලිසියේ කොරෝනා පැතිරීම වැළැක්වීමේ ඒකකයේ ස්ථානාධිපතිවරයා කියයි.  මෙලෙස හඳුනාගත් ආසාදිතයන් 105 දෙනා අලුත්ගම, බේරුවල සහ පයාගල පොලිස් වසම්වල පදිංචිකරුවන් වන බව කියයි.

රත්මලාන

 රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පෙරේදා (10 වැනිදා) රත්මලාන දුම්රිය ක්‍රීඩාංගනයේදී පුද්ගලයන් 297 දෙනකු  වෙනුවෙන් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට අනුව පුද්ගලයන් 53 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසිය. මේ පිරිස පසුගිය කාලයේ කොට්ඨාස මට්ටමින් සිදුකළ පී.සී.ආර්. හා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණවලින් ආසාදිත බවට හඳුනාගත් පවුල්වල හා ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකර එම කාල සීමාව අවසන් වී නිදහස් කිරිමට පෙර සිදුකළ පරික්ෂණවලින් තෝරාගත් පළමු පෙළ ආශ්‍රිතයන් වශයෙන් හඳුනාගෙන මෙලෙස පරික්ෂාවට ලක්කරනු ලැබ ඇත.



 ගල්කිස්ස

 ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක සේවිකාවක් හා සේවකයකු කොවිඩ් ආසාදිත වී තිබියදී දින තුනකට ආසන්න කාලයක් සේවයේ යෙදී සිටීම නිසා එම හෝටලය සම්පුර්ණයෙන්ම වසා දැමීමට 10 වැනිදා පොලිසිය හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කරනු ලැබ ඇතැයි සෞඛ්‍ය අංශ කියා සිටී.  මෙම හෝටලය වැඩි වශයෙන් අසල පොලිස් නිලධාරින් ආහාරපාන ලබාගන්නා ස්ථානයක් ද වන අතර, පසුගියදා පොලිස් නිලධාරින් සඳහා සිදුකළ පී.සී.ආර්. පරික්ෂණ වාර්තාවලට අනුව  නිලධාරින් 6 දෙනකුටම ඒ තුළින් කොරෝනා වයිරසය ආසාදිත බවට තහවුරු වීම නිසා ඔවුන් ද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීමට කටයුතු කර ආශ්‍රිතයන්  නිරෝධායනයටත්, ආසාදිතයන් සිටි හෝටලය සීල් තබා වසා අනෙක් පිරිස නිවාස නිරෝධායනයට යොමු කරනු ලැබ ඇති බවත් සෞඛ්‍ය අංශ කියා සිටී.

දෙහිවල

දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පසුගිය සතිය තුළ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවලට අනුව දෙහිවල පොලිසියේ නිලධාරීන් අට දෙනකුට කොරෝනා වයිරසය ආසාදිත බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවැසිය.  මේ අනුව, එම පිරිස පොලිස් විශේෂ නිරෝධායන මධ්‍යස්ථාන  වෙත යොමු කරනු ලැබ, ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස රාජකාරි කළ නිලධාරින් 30කට වැඩි පිරිසක් නිවාස නිරෝධායනයට යොමු කර රෝගය පැතිර යාම වළක්වා ගැනීමට කටයුතු යොදා ඇති අතර, මහජන සේවා කටයුතු සඳහා නිලධාරි හිඟයක් ද පවතින බවත්, නිලධාරින් කිහිප දෙනකු දිවා රාත්‍රී සේවා සපයමින් එම සේවාවන්  අඛණ්ඩව පවත්වාගෙන යන බවත් පොලිස් ප්‍රකාශකයෙක් පැවැසීය.

කළුතර

 කළුතර දිස්ත්‍රික්කයෙන් තවත් කොරෝනා මරණ 22ක්  (10 වැනිදා) වාර්තා විය.  පොලිස් අධිකාරි කොට්ඨාස මට්ටමින් එම මරණ වාර්තා වූයේ, හොරණ පොලිස් අධිකාරි කාර්යාලයෙන් මරණ 4ක්, මතුගම පොලිස් අධිකාරි කොට්ඨාසයෙන් මරණ 3ක්, කළුතර පොලිස්  අධිකාරි කොට්ඨාසයන් මරණ 9ක් හා පානදුර පොලිස් අධිකාරි  කොට්ඨාසයෙන් මරණ 6ක් වශයෙනි.

කළුතර දිස්ත්‍රික්කයෙන් නව කොරෝනා ආසාදිතයන් 667ක් පෙරේදා (10වැනිදා) හඳුනාගෙන තිබුණි.පොලිස් වසම් මට්ටමින් එම ආසාදිතයන් හඳුනාගෙන තිබුණේ, බදුරලිය 66ක්, මීගහතැන්න 68ක්, මතුගම 18ක්, අගලවත්ත 22ක්, ඉත්තපාන 16ක්, තිනියාවල 2ක්, වැලිපැන්න 15ක්, බුලත්සිංහල 3ක්, කළුතර උතුර 23ක්, කළුතර දකුණ 80ක්, පයාගල 13ක්, බේරුවල  17ක්, අලුත්ගම 17ක්, දොඩම්ගොඩ 5ක්, තෙබුවන 33ක්, වරකාගොඩ 24ක්, පානදුර දකුණ 54ක්, බණ්ඩාරගම 20ක්, පානදුර උතුර 7ක්, වාද්දුව 19ක් සහ මොරොන්තුඩුව 1ක් වශයෙනි.

පානදුර පිංවත්ත

 පානදුර පොලිස් අධිකාරි කොට්ඨාසයට අයත් පිංවත්ත පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිලධාරින් 8 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට පෙරේදා (10 වැනිදා) හඳුනාගෙන තිබුණි.

ශල්‍යකර්මයට ලක් කිරීමට විනාඩි කිහිපයක් තිබියදී පානදුර මූලික රෝහලේ ශල්‍යගාරය තුළදී පෙරේදා (10 වැනිදා) හදිසියේ මියගිය වයෝවෘද්ධ කාන්තාවට කොරෝනා වයිරසය ආසාදිතව තිබූ බවට පරීක්ෂණවලදී හෙළි වූ බව පානදුර රෝහල් පොලිසිය සඳහන් කරයි.  මෙලෙස මියගොස් තිබුණේ, පානදුර මාලමුල්ල පදිංචි 78 හැවිරිදි කාන්තාවකි.  පාදයේ හටගෙන තිබූ තුවාලයක් ශල්‍යකර්මයකට ලක් කිරිම සඳහා ට්‍රොලියක තබා ශල්‍යාගාරය වෙත රැගෙනවිත් සිටියදී යම් අසනීප තත්වයකින් පෙළෙන බවට සෞඛ්‍ය කාර්ය සහායකයකු දැක විමසිලිමත් වී එහි සිටි වෛද්‍යවරයාට ඒ බව දැනුම් දී තිබූ බව එම ආරංචි මාර්ග පවසයි.
වහා ක්‍රියාත්මක වූ වෛද්‍යවරයා සහ එම සේවකයා සිහි විසඥව සිටි එම කාන්තාවට හෘද ස්පන්දනය ලබාදීමට සහාය දැරුව ද එය අසාර්ථක වී තිබිණි.  පසුව සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදී එම කාන්තාවට කොරෝනා වයිරසය ආසාදිත බව අනාවරණය වී තිබූ බව පොලිසිය කියයි.


ජාඇල

ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනකු සහ පවුල් සෞඛ්‍ය නිලධාරිනියකද කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බව ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. ජාඇල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ලාල් විජේසිංහ මහතා පවසන්නේ කාර්යාලයේ අනෙක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පස් දෙනා ද පී.සී.ආර්. පරික්ෂණය සඳහා ඉදිරිපත් කළ බවය.  මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට අධික වැඩ කොටසක් පැවරි ඇති මේ අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ආසාදිතයන් බවට පත්වීමත් ඔවුන් වෙනුවෙන් ආදේශකයන් පත් නොකිරීමත් නිසා සේවයේ යෙදෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දෙනික රාජකාරි කටයුතු වලට දැඩි බාධා එල්ල වී ඇති බව කියයි.

අත්තනගල්ල

 අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සේවයේ නියුතු දහ අට දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් එහි ප්‍රධාන කාර්යාලය   හා උප කාර්යාල තුනක් තාවකාලිකව වසා දැමීමට සිදු වූ බව එහි සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා පැවසීය. මේ අනුව නිට්ටඹුව නගරයේ පිහිටා ඇති ප්‍රධාන කාර්යාලයත්, නිට්ටඹුව නගරයේ පිහිටා ඇති එගොඩපොත උප කාර්යාලයත්, කලෝටුවාවේ පිහිටා ඇති ඔයබඩ පේරුව උප කාර්යාලය හා වටද්දර පිහිටා ඇති බෙම්මුල්ල උප කාර්යාලයත් එසේ තාවකාලිකව වසා දැමූ බවද සභාපතිවරයා කීය.

අත්තනග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආදායම් බලපත්‍ර අංශයේ නිලධාරිනියකට කොරෝනා ආසාදනය වීම හේතුවෙත් එහි ආදායම් බලපත්‍ර අංශය ඊයේ (11වැනිදා) සිට තාවකාලිකව වසා දැමීමට සිදු වූ බව එම කාර්යාලය කියයි. මේ අනුව, එම නිලධාරිනියගේ පළමු පෙළ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කිරිමට කටයුතු කරගෙන යන බව ද සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

බියගම

බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයිත් 1121 ක් නිවාස වල සිටින බව රෝහල්වල ධාරිතාව මෙන්ම ක්ෂේත්‍රයේ රාජකාරී සිදු කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ධාරිතාවද ඉක්මවා ගොස් ඇතී බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා (11) පැවසීය. ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණයක් වාර්ත වන බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ඉකුත් දින 05 තුළ කොරෝනා ආසාදිතයන් ලෙස 1004 දෙනකු තහවුරු වී තිබෙන බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් පෙරේරා මහතා පැවසීය.

කටාන
කටාත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ඊයේ (11 වැනිදා)  සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ  හැටහයකින් තිස්නව දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවැසිය.  දින දෙකකට පෙර ඉකුත් 9 වැනිදා පී.සී.ආර්. පරික්ෂණ සඳහා යවනු ලැබූ සාම්පල එකසිය හතළිස්ඵකක් අතරින් පනස්මක් දෙනකුට වයිරසය ආසාදනය වී ඇති බවට ඊයේ (11 වැනිදා) වාර්තා ලැබුණු බවත්, ඒ අනුව ආසාදිතයන් අනුවක් අලුතින් වාර්තා වී ඇති බවත් එම ප්‍රකාශකයා කීය.

කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඇස්.ඒ.යූ.ටී. කුලතිලක මහතාගේ අධීක්ෂණය යටතේ එහි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ දිගටම කරගෙන යන බවත්, මේ අනුව රෝගීන් වාර්තා වීම දිනෙන් දින ඉහළ යමින් තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.




බණ්ඩාරගම

 බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශයෙන් ඊයේ (11 වැනිදා) වාර්තාව වූ නව කොරෝනා ආසාදිතයන් 113ත් සමග සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී ප්‍රදේශයෙන් වාර්තා වූ සමස්ත රෝගී පිරිස 3,395 දක්වා ඉහළ ගොස් ඇතැයි එම කාර්යාලයේ  ප්‍රකාශකයෙක් පැවසීය. ආසාදිතයන් අතර ගර්භණී මව්වරුන් 38 දෙනකු ද වන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රකාශකයා සඳහන් කළේය.  බණ්ඩාරගමදී පෙරේදා (10 වැනිදා) පුද්ගලයන් 137 දෙනකු උදෙසා  සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදී වාර්තා වූ ආසාදිතයන් 47  දෙනා ද මේ අතර වන බව එම ප්‍රකාශකයා කීය.
කොරෝනා දෙවැනි රැල්ලේ මාස හයටම වාර්තා වූ රෝගීන්  ප්‍රමාණය 1,490කි. සිදු වූ මරණ සංඛ්‍යාව 10කි. තෙවැනි රැලේ මාස  හතරට පමණක් රෝගීන් 3395 දෙනකු වාර්තා වී, මරණ 53ක් සිදු වී  ඇත. මේ අනුව, මේ වනවිට වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ, බණ්ඩාරගම මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ඨාසයෙන්  රෝගීන් 445ක්, අළුබෝමුල්ල මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ඨාසයෙන් රෝගීන් 423ක් සහ මැදගම මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ඨාසයෙන් රෝගීන් 401ක් වශයෙනි.

මතුගම

කොරෝනා අවදානම නිසා මතුගම මහජන පොළ දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළ බව මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති මෙරිල් මුණසිංහ මහතා පැවැසිය. මතුගම මහජන පොළේ වෙළෙඳුන් පිරිසක් කොරෝනා ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමග සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුව මෙසේ මහජන පොළ වසා දැමීමට තීරණය කර ඇති අතර, මතුගම මහජන පොළට සම්බන්ධ තිදෙනකු මේ වනවිට කාරෝනා ආසාදනය වීම නිසා මරණයට පත්වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව ද වෙළෙන්දෝ පවසති.  වෙළෙඳුන්ගේ සහ පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවන් මෙසේ මහජන පොළේ කටයුතු නවත්වා සියලු වෙළඳුන්ගේ පී.සී.ආර්. පරික්ෂණ සිදු කිරීමට මතුගම සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරි කාර්යාලය සමග සාකච්ඡා කර පියවර ගන්නා බව ද මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති මෙරිල් මුණසිංහ මහතා  වැඩිදුරටත් පැවැසීය.

මොනරාගල

මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් පෙරේදා (11) දින කොවිඩ් 19 රෝගින් 268 දෙනකු හමුවී ඇති අතර රෝගීන් හතර දෙනකු මියගොස් තිබේ.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය මට්ටමින් හමුවී ඇති රෝගීන් සංඛ්‍යාව මෙසේය.
බුත්තල 56, බිබිල 48, බඩල්කුඹුර 29,මොනරාගල 28, මැදගම 27, සෙවණගල 26, මඩුල්ල 17, වැල්ලවාය 17, සියඹලාණ්ඩුව 9, කතරගම 8, තණමල්විල 3.
මේ වනවිට මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාසයෙන් හමුවී ඇති මුළු කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 6,589 කි. නිරෝධායනය වන පුද්ගලයන් සංඛ්‍යාව 1,882 කි. මෙතෙක් මියගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 54 කි.

බද්දේගම

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ඉකුත් 9 දා කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් කොවිඩ් 19 වයිරසය වැලඳුණු ආසාදිතයන් 48 දෙනකු හඳුනාගත් බව බද්දේගම මහජන සෞඛ්‍ය කාර්යාලය පවසයි.
බද්දේගම සෞඛ්‍ය බල ප්‍රදේශයේ පිහිටි තෙලිකඩ පොලිස් ස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් 07 දෙනකුටද කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි බද්දේගම මහජන සෞඛ්‍ය කාර්යාලය පවසයි.
පසුගිය 08දා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් ආසාදිතයන් තිදෙනකුද, නව වැනිදා සිදුකළ පරීක්ෂණ මගින් ආසාදිතයන් 04 දෙනකුද මෙලෙස හඳුනාගත් බව එම කාර්යාලය වැඩිදුරටත් පවසයි.

ජාඇළ
ජාඇළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් තිදෙනකු සහ පවුල් සෞඛ්‍ය නිලධාරිනියක කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බව ජාඇළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
ජාඇළ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ලාල් විජේසිංහ ප්‍රකාශ කරන්නේ කාර්යාලයේ අනෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පස්දෙනාද පී.සී.ආර්. පරීක්ෂණය සඳහා ඉදිරිපත් කළ බවය.

කලවාන

කලවාන මූලික රෝහලේ සේවය කරන වෛද්‍යවරයකුට කොවිඩ් 19 රෝගය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව කලවාන මූලික රෝහල පවසයි .

වෛද්‍යවරයාට අමතරව හෙදියන් හතර දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවද කලවාන මූලික රෝහල පැවැසීය .කලවාන මූලික රෝහලේ හෙද හෙදියන් සහ කනිටු කාර්ය මණ්ඩලය තුළද අඩුපාඩු පවතින බව රෝහල පවසයි.
කලවාන රෝහලේ කොරෝනා වාට්ටුව තුළ මේ වන විට කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් විසිඅට දෙනෙකු හා කුකුළේගම පිහිටි කලවාන මූලික රෝහල මගින් පාලනය වන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදනය වූ රෝගීන් අනු හත්දෙනෙකු ප්‍රතිකාර ලබන බවත් තවත් ඇදන් දහයක් එම ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත වැඩිකර ඇති බවද කලවාන මූලික රෝහල පැවසීය.

හලාවත

හලාවත, දංකොටුව, වෙන්නප්පුව, මාරවිල, නාත්තන්ඩිය සහ ආරච්චිකට්ටුව ප්‍රදේශවලින් ඊයේ (11දා) වනවිට කොවිඩ් ආසාදිතයන් 124 දෙනකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අතරින් වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ හලාවත ප්‍රදේශයෙනි. හලාවත, මැරවල, මයික්කුලම සහ ලංසියාවත්ත යන ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයන් 68 දෙනකු වාර්තා වී ඇත. හලාවත නගරයේ පැවති අවමංගල උත්සවයකට සහ මයික්කුලම ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගි වූ පිරිසක් අතරින් ආසාදිතයන් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. හඳුනාගෙන ඇති ආසාදිතයන් අතර වයස මාස දෙකක් වන බිලිඳියක්ද වේ. මේ අතර හලාවත ප්‍රදේශයෙන් හමුවූ ආසාදිතයන් අතර 42 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරකු මියගොස් ඇත.

මාදම්පේ
මාදම්පේ  ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 09 දෙනකු හඳුනාගෙන ඇත. 68 හැවිරිදි කොවිඩ් ආසාදිත කාන්තාවක් මියගොස් ඇති බවද මාදම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.
ආරච්චිකට්ටුව ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 05 දෙනකු වාර්තා වී ඇති අතර මාරවිල සහ මහවැව ප්‍රදේශවලින් ආසාදිතයන් 20 දෙනකු වාර්තා වී ඇත. දංකොටුව සහ වෙන්නප්පුව ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයන් 22 දෙනකු වාර්තා වී ඇත.



ගම්පොළ

ගම්පොළ නගරයේ කොරෝනා ආසාදිතයන් වැඩි වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.
ඊයේ (11දා) වනවිට ගම්පොළ නගරයේ රාජ්‍ය බැංකුවක ආසාදිතයන් 18 දෙනකු හමුවීමත් සමග එම බැංකුව වසා දමා ඇති අතර ගම්පොළ පොදු වෙළෙඳපොළේ ආසාදිත වෙළෙඳුන් 15 දෙනකුද හමුවී තිබේ. ඒ අසල පදිංචි වයස අවුරුදු 60ක අයකුද ඊයේ ආසාදිතව මියගොස් ඇති අතර කීරපන ප්‍රදේශයෙන්ද ආසාදිතයන් 15 දෙනකු හමුවී තිබේ.ො
ගම්පොළ ඇති කොරෝනා මධ්‍යස්ථාන සියල්ලම පිරී ගොස් ඇති අතර නිවෙස්වල සිටින ආසාදිතයන්ද ඉහළ ගොස් තිබේ. සිදුවන මරණ ගම්පොළ නගර සභා ආදාහනාගාරයට අමතරව ගෙලිඔය, කොස්සින්න, පුස්සැල්ලාව ආදී ස්ථානවලට රැගෙන යන බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

යාපනය
සිහිසුන්ව ඇදවැටී යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් මියගිය ගර්භණී කාන්තාවකගේ මරණය කොවිඩ් ආසාදනය වීමෙන් සිදුව තිබෙන බවට යාපනය ශික්ෂණ රෝහලේ දී කරන ලද මරණ පරීක්ෂණය මගින් අනාවරණය වී තිබේ. යාපනය කස්තුරි වීදියේ පදිංචි 30 හැවිරිදි කාන්තාවක මෙලෙස මියගොස් ඇති අතර ඇය විවාහ වී ඇත්තේ ද මීට වසරකට පෙරය. පෙරේදා (10 වැනිදා) නිවෙසේදී මෙම කාන්තාව වමනය දමමින් සිහිසුන්ව ඇදවැටී ඇති අතර නිවැසියන් විසින් ඇයව කඩිනමින් රෝහල් ගත කර ඇතත් ඇය මියගොස් ඇත.