court-advice

උද්ඝෝෂණය කිරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් තහවුරු කර තිබියදී කොවිඩ් වසංගතය උපයෝගී කරගනිමින් එම අයිතිය යටපත් කිරීමට යාමෙන් රටත් රජයත් දැඩි අපහසුතාවකට පත්වනු ඇතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා කුරුඳුවත්ත පොලිසියට ඊයේ (02) දැනුම් දුන්නේය.  කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී ඊයේ (02) පැවැත්වීමට  නියමිතව තිබූ උද්ඝෝෂණයක් තහනම් කර වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසට කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එසේ සඳහන් කළේය.


පොලිසියෙන් කළ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිකුත් කරනු ලැබූ  සෞඛ්‍ය මාර්ගෝපදේශයක් යමකු උල්ලංඝණය කරන්නේ නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට පොලිසියට බලතල ඇති බවය.  එබැවින් ඒ සම්බන්ධයෙන් නියෝග ඉල්ලා අධිකරණය වෙත ඉල්ලීම් කිරීමට අවශ්‍ය නැති බව ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී සඳහන් කළේය.

   ජනතාවාදී බුද්ධි මණ්ඩපය නමැති සංවිධානය පැවැත්වීමට නියමිත  උද්ඝෝෂණය නිරෝධායන නීතියට පටහැනිව සිදු කිරීමට යන බැවින් එය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන  ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා  සිටියේය.


මහාචාර්ය ජේ.එන්. ආනන්ද ජයවික්‍රම මහතාගේ මූලිකත්වයෙන් යුතුවලට ජනතාවාදී බුද්ධි මණ්ඩපය නමැති සංවිධානයක් කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව කොළඹ විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කුරුඳුවත්ත පොලිසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සඳහන් කර සිටියේ පොලිස් බලතල අනුව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසත් මේ සම්බන්ධයෙන් වාරණ නියෝග ලබාදිය නොහැකි බවත්ය.


 -නිමන්ති රණසිංහ-