කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී (සී.පී.එල්) ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක සහ සුපිරි වමත් පිතිකරු කුමාර් සංගක්කාරට නව තනතුරක් පිරිනමා තිබේ. ඒ එම තරගාවලියට ක්‍රීඩා කරන 'බාබඩෝස් රෝයල්ස්' කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙසයි. 

මීට  පෙර මෙම කණ්ඩායමේ නාමය දැක්වුණේ 'බාබඩෝස් ට්‍රයිඩෙන්ට්ස්' වශයෙනි. කෙසේ වෙතත් එම කණ්ඩායමේ වැඩි හිමිකාරිත්වයක් රෝයල් ස්පොර්ට්ස් ගෘෘප් (Royals Sports Group/EM Sporting Holdings Ltd) වෙත හිමි වීම හේතුවෙන් 'බාබඩෝස් රෝයල්ස්" ලෙස එහි නම සංශෝධනය කර ඇත.

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල් )තරගාවලියට  ක්‍රීඩා කරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ   හිමිකරුවන් වන්නේ ද එම සමුහයයි.  අයිපීඑල් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම්වල හිමිකරුවන් විසින් සීපීඑල් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම්වල හිමිකාරිත්වය ලබාගත් තෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මීට පෙර ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් හා ශාන්ත ලුසියා සූක්ස් යන කණ්ඩායම්වල හිමිකාරීත්වය අයිපීඑල්. කණ්ඩායම් හිමිකරුවන්  හිමිකරගෙන තිබුණි. ඒ අනුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා වන කුමාර් සංගක්කාර බාබඩෝස් කණ්ඩායමේ ද ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරයේ වගකීම භාර ගැනීමට නියමිතය. මෙවර සී.පී.එල් තරගාවලිය මෙම මස 26වැනිදා සිට සැප්තැම්බර් මස 15 වැනිදා  දක්වා පැවැත්වීමට නියමිතය.

  -සුරේෂ් දේශාන්-