Kusal Danushka and Dickwella are preparing to jump to the United States

වසරකට ඩොලර් 125,000 (රුපියල් ලක්ෂ 250) බැගින් ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අදහස් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු ගැන විදෙස් ක්‍රීඩා මාධ්‍ය හෙළිදරව් කර තිබේ.
එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටියදී ජෛව බුබුල බිඳදැමීමේ විනය විරෝධී ක්‍රියාව නිසා වරද කරුවන්වී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් වසරක තහනමක් සහ විශාල දඩ මුදලක් නියමවීමෙන් පසු කුසල් ධනුෂ්ක හා දික්වැල්ල ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනාගෙන් දෙදෙනෙකු දැනටමත් ඇමරිකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධවීමට අයදුම් කර ඇතැයි  ‘සන්ඩේ මෝනින් ස්පෝර්ට්ස්‘ විදෙස් සඟරාව වාර්තා කර තිබේ. තෙවැනියාද ඊට සම්බන්ධ වනු ඇතැයි වාර්තා පළවේ.
මෙම වාර්තාවේ ඇමරිකාවට අයදුම් කළ ක්‍රීඩකයා කුසල් බව නිශ්චය කර ඇති අතර ඔහුට එක්වූ අනෙකා කවුදැයි නිශ්චය කර නැත.


ඔවුන් වසරකට ඩොලර් 125,000 ක් (රුපියල් ලක්ෂ 250) උපයන කොන්ත්‍රාත්තුවකට සම්බන්ධවීමට සූදානම් බවද එහි දැක්වේ.
ඇමරිකා එක්සත් ජනපදය බලා ගොස් නැවත සිය ක්‍රිකට් දිවිය ආරම්භ කිරීමට සැරසෙන ඔවුන්ගෙන් එක් අයෙකු පසුගිය සතියේම ලංකාවෙන් පිටව යන බවට ඇමතුමක් ලබා දී ඇති අතර තවත් එක් ක්‍රිකට් ක්‍රීඩකයෙකු දැන් ඔහු සමඟ එකතු වී ඇති බව වාර්තා කර තිබේ.

සන්ඩේ මෝනින් ස්පෝර්ට්ස් වාර්තාව අනුව, මෙම ක්‍රීඩකයින් දෙදෙනා වසර තුනක් සඳහා ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් ක්‍රියාවලියට ඇතුළත් වීමට සැලසුම් කර ඇති අතර මෙම කාලය තුළ වසරකට ඩොලර් 125,000 ක ආදායමක් උපයන්නට අපේක්ෂා කරන බව දැක්වෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රීඩා සඳහා සම්බන්ධවීමට  ජනප්‍රිය ක්‍රීඩකයෙකුගේ අනුග්‍රහය ලැබී ඇති බව ද වාර්තාව වැඩිදුරටත් දැක්වේ.

මේ අතර, තම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අනාගතයක් නොදකින ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රිකට් මාවතට යන බවට එම වාර්තා වැඩිදුර විස්තර කර තිබේ.ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ෂෙහාන් ජයසූරියද මේ වසර මුලදී සිය පවුල සමඟ ඇමරිකා එක්සත් ජනපදයට ගිය අතර ඔහු තවදුරටත් ජාත්‍යන්තර හෝ දේශීය තරග සඳහා නොපැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නේය.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ප්‍රනාන්දු ද මීට පෙර එම මාර්ගයේ ගමන් කර ඇත.

එපමණක් නොව, ඉන්දියාවේ 19 න් පහළ තරුව වන ස්මිත් පටෙල් ද ඉන්දියාව සඳහා ක්‍රීඩා කිරීමේ ඔහුගේ අභිලාෂයන් ඉටු නොවීමෙන් පසුව ඇමරිකාවට ගියේය. ඔහු හැර වේග පන්දු යවන සිද්ධාර්ත් ත්‍රිවේදි මේ වසර මුලදී ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගිය බව එම වාර්තාව වැඩිදුර සඳහන් කරයි.

මෙම වාර්තා අනුව වසරක තරග තහනමට නොනැවතී මෙම ක්‍රීඩකයින්ගේ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයම අවසන් කර ඇති සෙයක් පෙන්නුම් කර තිබේ.