prasanna-gunasena-speaks

කෝවිඩ්-19 මර්දන එන්නත මෙතෙක් ලබා නොගත් පුද්ගලයන් 1906 දුරකථන අමතා ලියාපදිංචි වී එන්නත ලබාගන්නා ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ. සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.  හෙතෙම මේ බව සඳහන් කළේ, ඊයේ (09දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති 'ශ්‍රී ලංකාවේ කෝවිඩ්. 19 එනක්කරණයේ අද සහ හෙට' යන මැයෙන් පැවැති මාධ්‍ය හමුවේදීය. බස්නාහිර පළාතේ අවදානමට ලක්ව ඇති ප්‍රදේශවල වයස අවුරුදු 60ට වැඩි සහ රෝගාබාධවලින් පෙළෙන්නන් ආදී සෑම කෙනෙකුටම ඉදිරි දින 03 තුළදී එන්නත ලබාදීමට කටයුතු කරන බවද සභාපතිවරයා පවසා සිටියේය. එන්නත් අවශ්‍ය තරම් පවතින අතර, අවශ්‍ය පහසුකම්ද කිසිදු අඩුවකින් තොරව සැපයිය හැකි බව පැවසූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරය මෙම වැඩපිළිවෙළ යටතේ බස්නාහිර පළාතේ එන්නත් ලබාදීමට මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවත්, යම් අයෙකුට රෝගාබාධ ඇතිනම් ඒවා උත්සන්න වුවහොත් වෛද්‍ය පහසුකම් ලබාදීමටද කටයුතු සූදානම් කර ඇති බවද ප්‍රකාශ කළේය.

තුන්වැනි මාත්‍රාවක අවශ්‍යතාවක් පෙනුණහොත් එය ලබාදීමට සුදානම් බවත්, ලෝකයේ පවතින ඕනෑම කෝවිඩ් ප්‍රභේදයකට අදටත් අප සතුව පවතින හොඳම උපක්‍රමය එන්නත්කරණය බවත් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය. මෙරට ලබාදෙන එන්නත් සියල්ලකින්ම 95%-90%ක ආරක්ෂාවක් සැලසෙන බවත්,

දෙවැනි එන්නත් මාත්‍රාවද ලබාගෙන සති දෙකක් සම්පුර්ණ වීමෙන් පසු පූර්ණ ප්‍රතිශක්තිකරණයක් සැලසෙන බවත් හෙතෙම පවසා සිටියේය. වයස අවුරුදු 30ට වැඩි ලංකාවේ සියලුදෙනාගෙන් 96%කට එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදී අවසන් බවත්, දෙවැනි මාත්‍රාව ලබාදී ඇත්තේ 25%කට පමණක් බවත් පැවසූ විශේෂඥ වෛද්‍යවරයා, මෙම මාසය ඇතුළත පළමු මාත්‍රාව ලබාදුන් 96ටම දෙවැනි. මාත්‍රාවද ලබාදෙන බවද පැවසීය මිලියනයකට ආසන්න ප්‍රමාණයකට තවමත් පළමු මාත්‍රාව පමණක් ලබාදී ඇති නිසා ඔවුන් සෑම දෙනෙකුටම සැප්තැම්බර් මස මැද වනවිට දෙවැනි මාත්‍රාව ලබාදී පූර්ණ ප්‍රතිශක්තිකරණය ලබාදීමට හැකිවනු ඇතැයිද ගුණසේන මහතා විශ්වාසය පළ කළේය.

එන්නත් පිළිබඳ සමාජයේ විවිධ මත පළ වුවද ලොව දැනට භාවිත කරන සෑම එන්නතක්ම පාහේ කෝවිඩ් ප්‍රභේද සඳහා සාර්ථක ප්‍රතිචාර දක්වන බවත්, මිථ්‍යා ම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 40,000ක් පමණ තවමත් එන්නත් ලබාගෙන නොමැති බවද හෙතෙම සඳහන් කළේය. දෙවැනි මාත්‍රාව සම්පුර්ණ නොමැති තත්ත්වයක ලෝක ප්‍රජාවට තෙවැනි මාත්‍රාවක් නියම කිරීම හෝ එහි අවශ්‍යතාවක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අවස්ථාවේදී ප්‍රකාශ කර නොමැති බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

ලොව විවිධ රටවල දෙවැනි මාත්‍රාව ලබාගත් රෝගීන් පසු රෝගවලට ලක්වන්නේදැයි පරීක්ෂ කෙරෙන බවත්, එම දත්ත අනුව බරපතළ රෝගවලින් පෙළෙන සහ වැඩි වශයෙන් රෝගීන්ට නිරාවරණය වන අය සඳහා තුන්වැනි මාත්‍රා සඳහා අවශ්‍ය එන්නත් ඇතැම් රටවල් වෙන්කර තබාගෙන තිබෙන බවත් පැවසූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, දෙවැනි මාත්‍රාව ලබාදී අවසන් කළ පසු රෝගය පාලනය කරගැනීම සඳහා තුන්වැනි මාත්‍රාවක අවශ්‍යතාවක් පෙනුණහොත් එයට සුදානම් බවද අවධාරණය කළේය. වැදගත්ම දෙය දෙවැනි, තුන්වැනි මාත්‍රා පිළිබඳ සිත සිතා නොසිට ළඟටම පැමිණි එන්නත ලබාගැනීම බවද හෙතෙම පවසා සිටියේය. දෙසැම්බර් වනවිට ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 18ක් ලබාගැනීමට කටයුතු කරන බවද විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා යම් පුද්ගලයෙකුගේ ශරීරයේ වෛරසය පවතින අවස්ථාවක මහන්සි වුවහොත් සුළු රෝගී තත්ත්වය බරපතළ විය හැකි බවත්, රෝග ලක්ෂණ පවතීනම්, ළඟම ඇති. රෝහලට යෑමට මැළි නොවන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය. වයස අවුරුදු 30ට අඩු අය සඳහාද එන්නත ලබාදීමට කටයුතු කරන බවත්, මෙම මස මැද ඔවුන්ට පළමු මාත්‍රාව ලබාදීම අරඹන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

(නවෝද්‍යා පවනි)