කොවිඩ් ආසාදිතයන් බහුතරයක් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු වීම ප්‍රතික්ෂේප කරන බව ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නලින් ආරියරත්න පවසයි.



නිවෙස් නිරෝධායනය සඳහා යොමු කිරීමට නිර්දේශ වී ඇත්තේ වයස අවුරුදු 3 ට වැඩි වයස අවුරුදු 65 ට අඩු බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර නොලබන සහ අවශ්‍ය පහසුකම් සලසමින් ආසාදිතයා ආරක්ෂා කර ගැනීමට හැකියාව ඇති පුද්ගලයෙක් නිවසේ සිටින්නේ නම් පමණි. ආසාදිතයන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළක් යුද හමුදාවේ සහාය ඇතිව ආරම්භ කර ඇතියි ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නලින් ආරියරත්න මෙහිදී පෙන්වා දුන්නේය. නමුත් සමහර රෝගීන් සිය අවදානම ගැන නොසිතා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු වීම ප්‍රතික්ෂේප කිරීම නිසා සෞඛ්‍ය අංශ දැඩි අසීරුතාවකට පත්වේ.

නිරෝධායන නීතිය යටතේ මෙවැනි සිදුවීම්වලට මැදිහත් විය හැක්කේ පොලිසියට බව පෙන්වා දුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ අවදානම් සහිත පුද්ගලයන් ප්‍රථිකාර මධ්‍යස්ථානයට යොමු වීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවල තත්ත්වය කළමනාකරණය කර ගැනීමට පොලිසියේ සහය අවශ්‍ය කරන බවයි. එවැනි සිදුවීම් කළමනාකරණය කර ගැනීම සඳහා ඕනෑම මොහොතක පොලිසිය සහය දැක්වීමට සූදානම් බවද රැස්වීමට එක් වූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු අවධාරණය කළහ.

නිරෝධායන නීතිය ක්‍රියාත්මක වූ පෙර අවස්ථාවල මෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් අසලටම ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර ග්‍රාමීය කමිටු හරහා ග්‍රාම සේවා වසම් මට්ටමින් ලබා දීමට තීරණය කෙරිණි. නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාල සීමාව තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනවලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට ප්‍රවාහනය කිරීමේ අවස්ථාව ලබා දීමත් සිදු කෙරේ.

ගම්පහ දිස්ත්‍රිකයේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් අතරින් 25000 ක පමණ පිරිසක් තවමත් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගෙන නොමැති බව මෙහිදී අනාවරණය විය.

 සූම් තාක්ෂණය ඔස්සේ පැවැති ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීම අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත් විණි.